මට මෙහෙම නම් ජනතාවට කොහොම වෙයිද..? – සාගල පොලිසියට දෙහි කපයි..!

0
35
views

බොහෝ දේවල් සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයා විමසද්දී පොලිස්පතිවරයාද ඒ දේ ගැන මුලින්ම දැන ගන්නේ තමාගෙන් බවත්, ගල්කිස්සේ සිද්ධියේදී ද එලෙසම වූ බවත් තමන්ට මෙහෙම නම් ජනතාවට කොහොම වෙයිදැයි ප්‍රශ්න කරමින් සහ ‘මට සැකයි‘, ‘මට විශ්වාස නෑ‘ ආදී බරපතල වචන භාවිතා කරමින් නීතිය හා සාමය බාර ඇමැති සාගල රත්නායක මහතා අද පොලිස් ලොක්කන්ට නොසෑහෙන්න දෙහි කැපුවේය.

අරලියගහ මන්දිරයේදී අද (02) පැවති කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ගේ රැස්වීමේදී ඔහු මේ ලෙස බරපතල චෝදනා එල්ල කෙළේය.95% ක් පොලිස් නිලධාරීන් හොඳින් රාජකාරි කළද ඉතිරි 5% ක නිලධාරීන්ගේ ක්‍රියාවන් යෝග්‍ය නොවී තියෙන්නේ රජයේ වරදකින්වත් තමන්ගේ වරදකින්වත් නොවන බව කී අමාත්‍යවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් විසින් දේශපාලඥයෙක්ට හරි වෙනත් කණ්ඩායමකට හරි සහයෝගය දැක්වීම නිසා ඇල්මැරුණු ලෙස කටයුතු කිරීමෙන් මෙවැනි ප්‍රශ්න ඇතිවන බවයි.

පොලීසියේ මෙවැනි දුර්වලතා පිළිබඳව උදාහරණ කිහිපයක් පෙන්වාදුන් අමාත්‍යවරයා, පසුගියදා ගල්කිස්සේදී සරණාගතයින් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධවද තමන්ට සතුටුවිය නොහැකි බවද පැවසීය. එමෙන්ම ගාලු කොටුව තුලට මීටර් 3 ට වඩා උස ටොන් 5 ට වඩා බර වාහන ඇතුල්වීමට නොහැකි බවට කැබිනට් අනුමැතියකින් ගැසට් පත්‍රයක් නිකුත්වී ඇති අවස්ථාවක මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එය පිළිනොගැනීම පිළිබඳව තමන් විශ්මයට පත්වන බවත් එම පොලිස් ස්ථානාධිපතිවරයා වැඩකරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියන එක ගැටලුවක් බවත් අමාත්‍යවරයා පැවසීය.

තමන්ට පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරක් සිදුවූ බවත් එහිදී වාහනයක් තම වාහනය වම්පසින් ඉස්සර කර සිය නිල රථයද හප්පාගෙන ගිය අතර එම සිද්ධියේ වගකීම කිසිවෙකු බාරගෙන කටයුතු නොකළ අතර තමන් එහිදී තැනින් තැනට මාරුවෙමින් සිටි බවත් එවැනි සිද්ධියකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ක්‍රමයක් පොලීසිය තුල සකස්කර ඇති නමුත් එය ක්‍රියාත්මක නොවූ බවත් ඇමැතිවරයා පැවසීය. අඩුම තරමේ, පොලිසිය තමන්ට ගෙදරට හෝ යෑමට අවස්ථාව නොදුන් අතර හප්පාගෙන ගිය පුද්ගලයා සෙවීමට නොගොස් තමාව වාහනෙන් බස්සා හැපුණු තමන්ගේ වහනය පොලීසියට රැගෙන ගිය බවද අමාත්‍යවරයා හෙලි කලේය. තමන්ට එහෙම නම් ජනතාවට පොලීසිය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිවේදැයි හේ ප්‍රශ්න කර සිටියේ ය.

මේ සිදුවන සිදුවීම් පිළිබඳව තමාට විශාල සැකයක් පවතින බව කී සාගල ඇමැතිවරයා මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක පරිවාර රථ නුවරඑළිය ප්‍රදේශයේදී ගමන් කිරීමේදීද ප්‍රශ්නයක් ඇතිවූ බවත් පෙන්වා දුන්නේය.

“ඒ වගේම යම්කිසි සිදුවීමක් වූ විට විශේෂයෙන්ම බරපතල ක්‍රියාවක් ඇතිවූ විට එම ස්ථානයට කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ පොලිස් අධිකරීවරයා යා යුතුයි. මීට පෙර යාපනයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ සිද්ධියකදී අදාළ කොට්ඨාශ භාර නිලධාරියා එම ස්ථානයට පැමිණියේ පැය 7 ට පමණ පසුවයි. ඒ නිසා පොලීසියට ගැටලු රැසක් ඇතිවුනා. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මුලින් කළ වාර්තාව සාවද්‍ය වාර්තාවක් බවට පත්වී සමාජය ඉදිරියේ හෑල්ලුවටද ලක්වුනා.“ ඒ නිසා එවැනි සිද්ධීන්වලදී අදාළ කොට්ඨාශ භාර නිලධාරියා එම ස්ථානයේ සිටිය යුතු බවත් එම සිද්ධිය පිළිබඳව ඍජුවම පොලිස්පතිවරයාව දැනුවත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගියදා ගල්කිස්සේදී ඇතිවූ සිද්ධියේදී පවා වැඩබලන පොලිස්පතිවරයාව මුලින්ම දැනුවත් කලේ තමන් බවද බොහෝ අවස්ථා වලදී තමන් පොලිස්පතිවරයාගෙන් විවිධ සිද්ධීන් පිළිබඳව විමසද්දී එම සිදුවීම් පිළිබඳව පොලිස්පතිවරයා ද දැනුවත්ව නැති බවද ඇමැති සාගල පැවසීය.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී පොලිස් ස්ථාන, කොට්ඨාශ බාර පොලිස් නිලධාරී කාර්යාල වලින් අදාළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන්, විවිධ පුද්ගලයින්ගෙන් තීන්ත, කෑම බිම සහ වෙනත් ද්‍රව්‍ය එකතුකරන බවටද තොරතුරු වාර්තාවී ඇතැයිද පොලිසියේ උත්සවයක් හෝ වෙනයම් කටයුත්තක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලෙසත් ප්‍රදේශයේ සිටින විවිධ පුද්ගලයින් පසුපස ගොස් පොලීසිය අගෞරවයට පත්නොකරන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.

‘පොලිස් නිලධාරීන් කියනව නම් නිදහස නැහැ කියලා එය ලොකු අසත්‍යක්. රාජකාරි කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබාදී තිබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරමින් වෘත්තීමය භාවයෙන් ඉහල පොලිස් සේවාවක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. එබැවින් ජනතාවට පොලීසිය පිලිබඳ පවතින විශ්වාසය ඉහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතුයි“ ඇමැති සාගල පැවසීය.

මේ සාකච්ජාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ පොලිසියේ පහළ නිලයන්වල සිටින නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බවයි. පොලිස් සේවයේ කොඳු නාරටිය එම පහළ නිලයන්ට අයත් නිලධාරීන් බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඔවුන්ව ආරක්ෂා කල යුතු බව කියා සිටියේ ය. විශේෂයෙන්ම පොලිස් බැරැක්ක තුල සිටින නිලධාරීන්ට තම රාජකාරි වට පිටාව සඳහා අවශ්‍ය කරන පරිසරය ගොඩනැගිය යුතු බවද ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ජා කර ඒවා ඉහල නිලධාරීන් අවබෝධ කරගත යුතු බවද ඇමැතිවරයා පැවසීය.

“පොලිස් බැරැක්ක පමණක් නොවෙයි පොලිස් ස්ථාන පවා යහපත් මට්ටමේ තිබිය යුතුයි. විශේෂයෙන්ම කොට්ඨශ බාර පොලිස් නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් විසින් සිදුකරන පරික්ෂා කිරීම් නිසිලෙස ඉටුකළ යුතුයි. සෑම පරීක්ෂා කිරීමකම වාර්තාවේ පිටපතක් මට ද ලැබීය යුතු යි. දැනට කොට්ඨාශ බාර නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් විසින් පොලිස් ස්ථාන සහ බැරැක්ක පරික්ෂාකිරීම් නියමානුකූලව සිදු කරන බවට මට විශ්වාසයක් නෑ. ඇතැම් නිලධාරීන් පරික්ෂා කිරීම් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනේ වාඩිවී අදාළ වාර්තා සකසන බවට මට තොරතුරු ලැබී තිබෙනවා“ ඇමැතිවරයා පැවසීය.

මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් ප්‍රේමලාල් විජේවීර, පොලිස්පති වරයා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී වූහ.

(ලංකා ඊ නිවුස් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here