අන්තරයේ සැබෑ ස්වරූපය

0
43
views

අන්තරේ මැරයන් සහ නපුන්සක උපකුලපතිවරයකු අතින් “විද්‍යා 2017” එසේ නිමාවට පත්විය

2017 වසරේදී පීඨයට වසර 50ක් සපිරෙනවාත් සමඟම කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සියලු වසර වල සිසුන්, ආචාර්‍ය මණ්ඩලය සහ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණඩල සූදානම් වූයේ “විද්‍යා” නම් අපූරු සංකල්පය මල්ඵල ගැන්වීමට ය. විද්‍යාවේ සියලු පැතිකඩ, අප විද්‍යාවේ දන්නා / නොදන්නා සියලු දේ සමාජයට ලබාදීමේ කාර්යය තම උර මතට ගත් මෙම පිරිස ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර සකල ශ්‍රී ලංකා වාසී සියලු දෙනා හට කැළණිය විද්‍යා පීඨය තුළට ආරාධනා කළේය.
අපගේ අරමුණ වූයේ ලාංකීය ජනතාව තුළ විද්‍යා දැනුම ප්‍රචලිත කිරීමත් පාසල් දරුවන් විද්‍යාව පිළිබඳ උනන්දුවක් සහ ආශාවක් ඇතිකිරීමටත් ය.

එහෙත් අවාසනාවක මහත !

කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයට මෙය දරාගත නොහැකි විය. අපගේ මෙම උත්සාහය කඩාකප්පල් කර දැමීමට ඔවුන් හැකි සෑම ප්‍රයත්නයක්ම ගන්නට විය. එම ප්‍රයත්නයන් මෙසේය………

1) ශ්‍රී ලාංකා නාවික හමුදාව යනු ඉතා ප්‍රබල ඉංජිනේරු තාක්ෂණයක් සහිත, එමෙන්ම දියුණු රේඩාර් පද්ධති නාවුක උපාංග සහිත හමුදාවකි. එම තාක්ෂණය පසුපස ඇති විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුමක් සමාජයට ලබාදීමට අපට උවමනා විය. ඒ සඳහා අප කළ ආරාධනය පිළිගත් නාවුක හමුදාව සැප්තැම්බර් 25 දින ඔවුන්ගේ එම උපකරණ රැගෙන පීඨය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අන්තරේ මැරයන් විසින් මාර්ගය අවහිර කොට එම උපකරණ රැගත් වාහන නැවත හරවා යවන ලදී. අප රට සතු දියුණු තාක්ෂණයක් පිළිබඳ රටට විශාල දැනුමක් ලබාදීමට දැරූ උත්සාහය ඔවුන් විසින් එලෙස විනාශ කරන ලදී

2) මේ ආකාරයේ විද්‍යා ප්‍රදර්ශනයක් සිදු කිරීම පහසු කටයුත්තක් නොවේ. එවැන්නක් සිදු කිරීමට මිල අධික උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවේ. ඒ සඳහා අවශ්‍ය වන අධික පිරිවැය ලබාගැනීමට අනුග්‍රාහක භවතුන් බොහෝ දෙනෙකුගේ සහයෝගය ආරම්භයේදී හිමි විය. නමුත් අන්තරේ මැරයන් විසින් අපගේ කර්තව්‍යය සඳහා උපකාර කිරීමට පැමිණි ඇතැම් අනුග්‍රාහකයින් හට තර්ජනය කොට එළවා දමන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රදර්ශනය සඳහා ලැබීමට නියමිත වූ මුදල් විශාල ප්‍රමාණයක් නොලැබී යාමත් මුදල් හිඟ තත්ව නිසා දිවා රෑ වෙහෙස නොබලා ප්‍රදර්ශන භාණ්ඩ නිර්මාණය කරන විද්‍යා පීඨ සිසුන් හට ලබාදීමට නියමිතව තිබූ දිවා ආහාරය පවා නියමිත පරිදි නොලැබී යාමයි.

දින 7ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත වූ විද්‍යා ප්‍රදර්ශනය ආරම්භ වී තෙවැනි දිනයේ දී දහවල් 2 ට පමණ ප්‍රදර්ශන භූමිය තුළට පැමිණි මෙම මැර පිරිස ප්‍රදර්ශනයේ සංවිධායක සිසුන් හට තර්ජනය කළ අතර අලුයම 2.15 ට පමණ පීඨයේ ගේට්ටුවට හානි කර විද්‍යාපීඨ සිසුන් 4 දෙනෙකුට පහරදෙන ලදී. මෙම පිරිස නැවතත් පෙරවරු 8.00 ට පමණ පැමිණ තවත් විද්‍යා පීඨ ශිෂ්‍යයින් 4 දෙනෙකුට සහ එක් ශිෂ්‍යාවකට සහ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් දෙදෙනෙකුට පහර දෙන ලදී.

මෙම සිදුවීමෙන් පසුව ප්‍රදර්ශනය සංවිධානය කරන සිසුන්ට සහ නැරඹීමට පැමිණෙන ජනතාව වෙත පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස අප ඉල්ලා සිටි නමුත් කැළණිය විශ්ව විද්‍යාලයේ අපෘෂ්ඨවංශී උපකුලපතිවරයා විසින් එම ඉල්ලීම ඉවත දැමුවේ ශිෂ්‍ය ජීවිත පිළිබඳව තඹ සතයකට මායිම් නොකරමිනි.

අවසානයේ දින හතක් පුරා සකල ශ්‍රී ලංකාවාසී ජනතාව විද්‍යා දැනුමින් පෝෂණය කිරීමට බිහිවූ විද්‍යා 2017 අවසන් කරනු ලැබුවේ ශිෂ්‍ය සහ මහජන ජීවිත වලට සිදුවිය හැකි හානි වළක්වාගැනීම උදෙසා ය.

නිදහස් අධ්‍යාපනය, ශිෂ්‍ය අයිතීන් සුරැකීම ආදී ඊනියා ලේබල් වලට මුවාවී තම දේශපාලන අරමුණු සඵල කරගන්නා අන්තරයේ සැබෑ ස්වරූපය අද දින අප සැමට පසක් විය.

මියුරු ද සිල්වාගේ මුහුනු පොතේ තිබු සටහනකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here