ආණ්ඩුව කරන දේ කියන්න බැරිද

0
70
views

(මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය අනුර කරුණාතිලක)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස හා මානව හිමිකම් සම්බන්ධයෙන් කිසියම් සීමාකාරී තත්ත්වයක රට සිරව ඇතැයි 2014 වසර අග භාගය වනවිට පොදු ජනතාව මෙන්ම සිවිල් සමාජය අතරේ ද මනෝභාවයක් පැවැතියේය. එවකට පොදු අපේක්ෂකයාව සිටි මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රමුඛ පාර්ශ්වය මහින්ද රාජපක්ෂ පාලනයට එල්ල කළ විවේචනය වූයේ ද එයයි. සැබැවින්ම රාජපක්ෂවිරෝධී දේශපාලන බලවේග විසින් එවක නඟන ලද සටන් පාඨ ආර්ථික පිළිවෙතට එල්ල කෙරුණු විවේචන පරයමින් ඉලක්ක වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විෂයෙහි වූ ආණ්ඩු පිළිවෙතයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් එසේ එල්ල වූ විවේචනයෙහි කේන්ද්‍රය වූයේ විධායක ජනාධිපති ධුරයයි. 1978 දී හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරයේ මධ්‍යගත බලයත් 18 වැනි සංශෝධනය හරහා එය තවදුරටත් තීව‍්‍ර කිරීම සම්බන්ධයෙනුත් මේ විවේචන එල්ල විණි. ඒ අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන බල රාමුවක් නැවත ශ්‍රී ලංකාවෙහි ස්ථාපිත විය යුතුය යන දේශපාලන යෝජනාව ඉස්මතු විය. 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩු මාරුවක් වෙන්නේ මේ ජන වරම හිසින් දරාගෙනය. එහෙත් එසේ බලයට පත් වූ කණ්ඩායම ගත කල වසර තුනකට ආසන්න කාලය නිරීක්ෂණයේදී අපට පැහැදිලි වන්නේ කුමක් ද? සිය ප‍්‍රමුඛ පොරොන්දුව වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් දියත් නොකළ බවය.

යම් ප‍්‍රමාණයකට හෝ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කෙරුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වූ කලි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ගමනේ ප‍්‍රවේශ මාර්ගය පමණි. එය දේශපාලනිකව ස්ථානගතව ඇත්තේ ජනවාරි 8 ජනාධිපතිවරණයේදී හැට දෙලක්ෂයක ඡුන්දවලින් ඉල්ලා සිටි ප‍්‍රතිසංස්කරණ සීමාවට බොහෝ මෙපිටිනි. ඒ බව පාලකයෝ ද දනිති. දැන් කවර කතා කීව ද ඒ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයා පැවැසුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවය. මේ වනවිට ආණ්ඩුවේ බලය දරන ප‍්‍රධාන පක්ෂ දෙකම එම පොරොන්දුව ඉටු කිරීම සඳහා කැප වන බවක් අපට නොපෙනේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එරෙහිව වර්තමාන ආණ්ඩුවේ ද එක් කණ්ඩායමක් පෙනී සිටී. මේ නිසා බැලූ බැල්මටම ආණ්ඩුව එවැනි පොරොන්දුවක් දී නැතිදැයි කෙනෙකුට සිතිය හැකිය. එහෙත් සැලකිල්ලෙන් බැලූවිට අපට දර්ශනය වන්නේ මෙකී කණ්ඩායම 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ ද සිටියේ මෙම මතයේම බවයි. එහි සැබෑ අර්ථය නම් ඔවුන් එවකට කටයුතු කළේ පොදු අපේක්ෂකයාට විරුද්ධව බවය. ආණ්ඩුව ඇතුළේම සිටිමින් කියන කතා නිසා පොදු ජනතාවට පැටැලෙන්නේ මේ යථාර්ථයයි. එසේ බලද්දී ජයග‍්‍රාහී හැට දෙලක්ෂය වෙනුවෙන් මේ පිරිසට පෙනී සිටීමේ නොහැකියාව සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් මෙහි ප‍්‍රතිඵලය කුමක් ද? රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් මානව හිමිකම් ගරු කරන පරිසරයක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධාන, සරසවි සිසුන්, මාධ්‍යවේදීන්, උගතුන් බුද්ධිමතුන් හා තරුණ කණ්ඩායම් ඇතුළු දේශපාලන බලවේග පාලකයන් කෙරෙහි කලකිරීමට පත්වීමය.

යහපාලන ආණ්ඩුවේ පාලනය සමඟ එතෙක් බලවත්ව පැවැති ජාතිකවාදී දේශපාලන ධාරාවේ ද කිසියම් පසුබැස්මක් පැහැදිලිවම දැකිය හැකි විය. මේ රටේ බහුතර ජනතාව භාවිත කළේ වෛරය සමඟ ඇවිළෙමින් පැවැති ජාතිකවාදයට වැට බඳින ඡුන්දයකි. එසේ ශක්තිමත් කරන ලද ජන වරමකින් බලයට පැමිණි ආණ්ඩුව ජාතිවාදී බලවේග මූලික කරගත් දේශපාලනය සම්බන්ධයෙන් ගත වූ කාලයේදී අනුගමනය කළ පිළිවෙත පැහැදිලි එකක් වුණේ නැත. තවද ඒ සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ මතය පොදු ජනතාවට හරිහැටි සන්නිවේදනය කිරීමක් ද වුණේ නැත. විශේෂයෙන්ම නිශ්චිත සිදුවීම් අරභයා තමන් එසේ ප‍්‍රතිචාර දැක්වූයේ ඇයිදැයි රටවැසියන්ට කියාගන්නට ආණ්ඩුවට නොහැකි වූයේය. සැලකිය යුතු කාලයක් දුබලව සිටි ජාතිකවාදී කණ්ඩායම්වලට සිය මතවාදය යළි කරලියට නැන්වීමට එමගින් ඉඩක් විවර විය. උදාහරණයකට ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් කතා කරන ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්ව දෙකම එහි අඩංගුව ගැන නිශ්චිත වශයෙන් කතා නොකරයි. ආණ්ඩුව නිකුත් කරන සංඥාව සාමාන්‍ය ජනතාවට අපැහැදිලිය. පෙර කී ජාතිකවාදී කණ්ඩායම් දේශපාලන බලය උරගාබැලීමේ අරමුණ පෙරදැරිව සිය මතවාද සමාජගත කිරීමට මුට්ටිය දමා බැලූවේ මේ අවස්ථාවේය.

සාමාන්‍ය ජනතාව අතරෙහි ඇති ජාතිකවාදී අදහස් කුළු ගන්වා බලය ලබාගැනීම දේශපාලනයේ ඉතා පහසු උපක‍්‍රමයකි. මන්දයත් ජාතිකවාදය ඉතා තියුණු, සංවේදී, උද්දීපනය කිරීමට පහසු මතවාදයක් වන බැවිනි. ඊට හොඳම උදාහරණය නම් බුරුමයේ රොහින්ග්‍යා සරණාගතයන්ගේ ගැටලූවයි. අදාළ සරණාගත පිරිස ලංකාව ඉලක්ක කරගත් සංචාරයක් නොපැමිණි බව අපි සියල්ලෝම දනිමු. එහෙත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට අස්සන් කළ රටක් හැටියට මානව හිමිකම් සුරැුකීම විෂයෙහි අපි ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටිමු.

සරණාගතයන් සම්බන්ධයෙන් වූ මෙකී එකඟතා අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය බැඳී සිටී. ඒ අනුව සරණාගතයන් සම්බන්ධයෙන් වූ ක‍්‍රියාමාර්ග පටිපාටියට අනුව අදාළ රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත යුතු අතර ඊට නිශ්චිත කාලයක් ගත වේ. එහෙත් ආණ්ඩුව මේ ප‍්‍රශ්නයේදී තමන් අනුගමනය කරන පිළිවෙත හෝ එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට හේතුවන්නේ කවර පදනමක් ද යන්න රටේ ජනතාවට හරියට කියන්නේ නැත. ජාතිකවාදී කණ්ඩායම් පසුගියදා යළිත් පාවිච්චි කිරීමට යත්න දැරුවේ මේ ඉඩ අවකාශයයි.

පැහැදිලිවම මේ ජාතිකවාදීන් කියන හැටියට රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක් සිදුකරන්නට බැරිය. එහෙත් ආණ්ඩුව ඒ කතාව කෙළින් කියන්නේ නැත. මට පෙනෙන හැටියට නම් ආණ්ඩුව ඒ කතාව කෙළින් කියන්නට බයය. සංවේදී වූ ජාතිකවාදී කතිකාවක් මගින් මිනිසුන් ගොනුකරගැනීමේ ශක්‍යතාව ආණ්ඩුව දනී. ඒ නිසාම ආණ්ඩුව කෙළින් කතා කරන්නට බිය වී සිටී. එහෙත් ආණ්ඩුවේ මේ නිහැඩියාවම පෙරළා ආණ්ඩුවට අවාසියක් වී තිබේ. මෙය අප දකින්නේ ඉතාම නරක ප‍්‍රවණතාවක් හැටියටය.

ජාතික ආණ්ඩුව යන නාමය යටතේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කණ්ඩායමත් ආණ්ඩුවක් සකස් කරගත්තේය. එහෙත් ඔවුන් එලෙස ඒකාබද්ධ වූයේ ප‍්‍රතිපත්තිමය වශයෙන් වූ පොදු ඉදිරි දර්ශනයක් අතේ නැතිවය. එසේ බැලූවිට පැහැදිලි වන්නේ ඔවුන්ගේ ඒකාබද්ධවීම හුදු ආණ්ඩු පවත්වාගැනීමේ දේශපාලනයක් හැටියටය. රජයේ ආර්ථික වැඩපිළිවෙල මෙන්ම දේශපාලන වැඩපිළිවෙල හා නිශ්චිත සිදුවීම් සම්බන්ධයෙන් එක කතාවක් එළියට නොඑන්නේ එහෙයිනි. ආණ්ඩුවක් නැති හැඟීමක් ජනතාවට දැනෙන්නේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

මේ නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් මෙන්ම දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ගත්තත් මිනිසුන් අතරෙහි ඇත්තේ ප‍්‍රබල විවේචනයකි. ආණ්ඩුවේ මේ නොහැකියාව විසින් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියට මඟ හසර විවර කරනු ලැබ ඇත. රොහින්ග්‍යා සරණාගත ප‍්‍රශ්නයේදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද ඇතුළුව පසුගිය කාලයේදී මුහුණ දීමට සිදු වූ බොහෝ සිදුවීම්වලදී මේ තත්ත්වය පොදු සාධකයක් විය.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය මේ වනවිට තනිකරම පදනම්ව තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවේ දේශපාලනය මතය. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය පවසන බොහෝ දේ සත්‍ය නොවේ. ඊට හොඳම උදාහරණය නම් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට අදාළ ප‍්‍රකාශයි. රාජ්‍යයේ බල ව්‍යුහය හෝ බුද්ධාගමට හිමි තැන සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවෙහි අන්තර්ගතය ගැන මේ වනතෙක් කිසිදු අවසානාත්මක එකඟතාවයකට පැමිණ නැත. එහෙත් නව ව්‍යවස්ථාවෙන් රට බෙදී බුද්ධාගමට හිමි තැන අහිමිවන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් අසත්‍ය වපුරමින් සිටිති.

පවතින නීතිමය තත්ත්වය යටතේ පළාත් සභා විසුරුවා හැරීමේ බලතල තිබෙන්නේ මහ ඇමැතිවරයා හා ආණ්ඩුකාරවරයාගේ එකඟතාව මතය. 20 වැනි සංශෝධනයේ එක් අරමුණක් වන්නේ පළාත් සභා විසුරුවා හැරීමේ බලය නැවත පාර්ලිමේන්තුව සතු කරගැනීමය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් 20 වැනි සංශෝධනය ගැන පවා කීවේ කුමක් ද? එය ක‍්‍රියාත්මක වුවහොත් රට බෙදෙන බවය. මේ කතාව

තනිකරම සංශෝධනයේ අරමුණුවලට ප‍්‍රතිපක්ෂ මතයක් වුවද ඒ බව ජනතාවට කියන්නට ආණ්ඩුවට තවමත් හරිහැටි හැකි වී තිබේද? නැත. ඒකාබද්ධ විපක්ෂයට දේශපාලනික වශයෙන් මේ බඩ පිනුම් ගැසීමේ ඉඩකඩ විවර වී ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවේ දේශපාලනය නිසාය.

ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් පසු පාදයේ ක‍්‍රීඩා කළ ද ඇතැම් ක්‍ෂේත‍්‍රවලදී ආණ්ඩුව කිසියම් උජුපටිපන්න ගුණයකින් ක‍්‍රියා කරන බව ද කිව යුතුය. ශිෂ්‍ය හා වෘත්තිය ප‍්‍රශ්න විෂයෙහි මේ දැඩි පිළිවෙත පැහැදිලිවම අපි දකිමු. තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනයේදී මෙය හොඳින් විෂද විය. වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය පොඩිපට්ටම් කිරීමට ආණ්ඩුව රජයේ නීත්‍යනුකූල ආරක්ෂක හමුදා මෙන්ම අතුරු කණ්ඩායම් ද භාවිත කළේය. එහිදී වෘත්තිය සමිති සේවකයෝ ඇතැමෙක් මැර කණ්ඩායම්වල පහරකෑමට ලක් වූහ. සයිටම් හා වෙනත් සරසවි සිසු ප‍්‍රශ්නවලදී ද මේ පිළිවෙතෙහි වෙනසක් නොවීය. එහෙත් සමස්තයක් වශයෙන් ගත්කල සමාජ, ආර්ථික හා දේශපාලනික විෂය ක්‍ෂේත‍්‍රවල ජනිත වන ප‍්‍රශ්නවලදී ආණ්ඩුවේ ආමන්ත‍්‍රණය බලවත් මෙන්ම පැහැදිලි ද නැතිය යන්න ජනතා මතයයි. නිශ්චිත වැඩපිළිවෙලක් නැති රාජ්‍යක් යන්නෙහි තේරුම කිසියම් අරාජිකත්වයක්දෝයි ඇතැමෙක් විමසති. රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැන්වීමේදී රාජ්‍ය සේවය ඊට දක්වන අනුගතභාවය මෙන්ම කාර්යක්ෂමභාවය ද ඊට එක් හේතුවක්ව තිබේ.

පසුගියදා සම්මත වූ පළාත් සභා සංශෝධන පනත් මගින් පළාත් සභා ඡුන්දය කල් යන බවට ඇතැමෙක් විවේචනය කරති. ඒ එක් මතයකි. එහෙත් අපට මෙසේ ද සිතිය හැකිය. පැවැති ක‍්‍රමයම ක‍්‍රියාවට නැඟුවේ නම් අපට පැවැත්වීමට සිදුවන්නේ පළාත් සභා තුනක මැතිවරණ පමණි. එය ද සැමදා විවේචනයට ලක් වූ මනාප ඡුන්ද ක‍්‍රමය යටතේය. එය එසේ වී නම් කොට්ඨාශ ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ නැත. මහජන නියෝජිතයන් තෝරාගැනීමට වෙන්නේ පෙර පැවැතියා සේ මුළු දිස්ත‍්‍රික්කයටමය. අනෙක් අතට පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ නම් දීර්ඝ කාලයක් තිස්සේ කල්ගිය පළාත් පාලන මැතිවරණය මේ වසරේදී ද පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ නැත. එසේ බලද්දී කවරාකාරයෙන් හෝ පළාත් සභා සංශෝධන පනත හරහා ලැබී තිබෙන්නේ මනාප ක‍්‍රමය අහෝසි වූ කොට්ඨාසයට වග කියන මහජන නියොජිතයකු ජනතාවට ලැබෙන මැතිවරණ ක‍්‍රමයකි. මේ තත්ත්වය සම්පූර්ණ කරගැනීමට පළාත් සභා තුනක ඡුන්ද කල් ගිය ද අවසාන විග‍්‍රහයේදී පොදු ජනතාවට ඒ වෙනුවට ලැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීව ගුණයෙන් පිරි පුරවැසියාට වාසිදායක මැතිවරණයකි. එසේ බලද්දී මැතිවරණ කල් ගිය ද පුරවැසියාගේ පැත්තෙන් වී ඇත්තේ යහපතකි. අවාසනාව නම් මේ කතාවවත් හරියට කියාගන්නට ආණ්ඩුව සමත් නොවීමය. මැතිවරණ කල් දමන ආණ්ඩුවක් යන ලේබලය අලවන්නට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබී ඇත්තේ එහෙයිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් සුරක්ෂණය විෂයෙහි ආණ්ඩුව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට කිසියම් උත්සාහ නොදරනවා නොවේ. එහෙත් ඒ ගැන ජනතාවට කියන්නට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තවම නැත. නීතිය එක් එක් පුද්ගලයාට වෙනස් අයුරින් ක‍්‍රියාත්මක වන්නේදැයි යන පැනය මේ වනවිට පොදු ජනතාව අතරෙන්ම මතුවෙමින් තිබේ. හොරුන් ඇල්ලීම හා දුෂිතයන්ට දඬුවම් දීම ගැන පරසක්වල හැපෙමින් පොරොන්දු දුන් පාර්ශ්වයක් හැටියට ආණ්ඩුවට මෙය හොඳ තත්ත්වයක් නොවේ. මේ බොහෝ අවුල්වල පදනම් සාධකය බවට පත්ව තිබෙන්නේ ආණ්ඩුව හුදෙකලා කණ්ඩායම් හා පුද්ගලයන් හැටියට ක‍්‍රියාත්මක වීම හා පක්ෂ දේශපාලන ව්‍යාපෘති පෙරට ගැනීමය. ප‍්‍රගතියක් අපේක්ෂා කරන්නේ නම් පළමුවෙන්ම ආණ්ඩුව නැතිකර ගත යුත්තේ මේ දුර්වලතාවයි.

(සටහන – බිඟුන් මේනක ගමගේ – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here