තොරතුරු පනත ගැන ලාංකිකයන් දැනුවත්ද?

0
35
views

ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 3 වෙනිදා සිටය.දැනට මාස 08 කාලයක් ගත වන තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගෙන මේවන විට තොරතුරු ඉල්ලීම් 12,000 ක් පමණ ලැබී ඇති බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.තොරතුරු දැන ගැනීමේ පනත ගැන ජනතාව දැක්වූ උනන්දුව අනෙකුත් ආසියාතික රටවල පළමු අවුරුද්ද සමග සැසදීමේදී සතුටුදායක බව ඔහු කියා සිටියේය.

“ඉන්දියාවේ පළමු අවුරුද්දේ කෝටි සීයක් ජනතාවට ලැබුණේ ඉල්ලුම් පත්‍ර පනස්දහයි. නමුත් අපේ කෝටි දෙකක ජනතාව ඉල්ලුම් පත්‍ර දොළොස්දාහක් විතර දාල තිබෙනවා” යනුවෙන් ඔහු කියා සිටියේය.තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගෙන ජනතාව ලබාගත් තොරතුරු අතර විශේෂත්වයක් ගන්නේ පසුගිය ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව විසින් නිකුත් කිරීමට ප්‍රතික්ෂේප කරන ලද 2011 වසරේ නිදහස් වෙළෙඳ කලාපයේ පැවැත්වුන උද්ඝෝෂණයක දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂේන් ශානකගේ මරණය සම්බන්ධ පැවැත්වූ පරීක්ෂණ වාර්තාවය.

රජයට හා පොලිසියට ඇති අවාසි සහගත නිර්දේශ හේතුවෙන් අවස්ථා ගණනාවක දී ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කළ මෙම වාර්තාව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ද නිකුත් කිරීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි.කෙසේ වෙතත් පනත අනුව කළ අභියාචනයක් අනුව පසුව එය නිකුත් කිරීමට ජනාධිපති කාර්යාලයට සිදු විය.”මාස හැට අටක් මේක ඉල්ලලා විරෝධතාවෙ යෙදුණා. තොරතුරු පනත අනුව ඉල්ලුවත් මුලදී දෙන්න බැහැ කිව්වා. පසුව අභියාචනයක් කළාම ඒක දුන්නා” යනුවෙන් රොෂේන් චානකගේ මව මේරි ස්වර්ණකාන්ති පැවසුවාය.

“දැන් මම දන්නවා පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ. මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. වැරදි කරපු අයට දඬුවම් දෙන්න කියලා” යනුවෙන් පවසන ඇය තොරතුරු පනතෙන් ලබාගත් තොරතුරු යොදා ගෙන සිය පුතුට සිදු වූ අසාධාරණයට එරෙහිව සාධාරණත්වය ලබාගැනීමට උත්සාහ කරන්නීය.

උතුරු පළාතේ ජනතාව ද තමන් මුහුණ දෙන ගැටලුවලට තොරතුරු පනත යොදා ගැනීමේ අවස්ථා රැසක් වාර්තා විය.විශේෂයෙන් ඒ සඳහා තරුණ කණ්ඩායමක් මූලිකත්වය ගෙන තිබූ අතර ඔවුන් ජනතාව සමග එක්ව තොරතුරු දැන ගැනීමේ ඉල්ලීම් 1,300 ක් පමණ යොමු කර තිබේ.”දාපු ඉල්ලීම්වලින් සියයට හතළිහක විතර තොරතුරු අපිට හම්බ වුනා. හමුදාව අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය ගැන, කාගේ ඉඩම් ද ගත්තේ මේ වගේ තොරතුරු ජනතාවට ලැබිල තියෙනවා” යනුවෙන් එම තරුණ කණ්ඩායමේ රවින්ද්‍ර සිල්වා සිය කණ්ඩායමේ මග පෙන්වීම යටතේ උතුරු පළාතේ ජනතාව ලබා දුන් තොරතුරු පිළිබඳ දැක්වූවේ එවන් අදහසක්.”සමහර තැන්වල තොරතුරු ලබා දෙන්නේ නැහැ. නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය ඒවගේ තැනක්” යනුවෙන් ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තම ප්‍රදේශයේ ඉඩම් ගොඩ කිරීම්, පරිසර හානි වැනි කරුණු ගැන ද තොරතුරු පනත යොදා ගෙන ජනතාව කටයුතු කර ඇති අවස්ථා රැසක් තිබුණ ද වැඩි දෙනෙකු තොරතුරු ඉල්ලා තිබෙන්නේ පුද්ගලික කාරනා සඳහා බවය.තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගෙන ජනතාව තම ප්‍රදේශයේ ගැටලු ගැන තොරතුරු ලබා ගෙන ඒවාට විසඳුම් ලබාගත් අවස්ථා තිබූ බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ පෙන්වා දුණි.”දැනට ඇති පැටර්න් එක බැලුවොත් එන්නේ ගොඩක් පුද්ගලික ප්‍රශ්න, මගේ ඉඩම දෙන්නේ නැත්තේ ඇයි ?, ළමය ඉස්කෝලෙට ගත්තේ නැත්තේ ඇයි ? කියලා වගේ ඒවා, ඊට වඩා වැදගත් රජය කරන සංවර්ධන වැඩ ගැන, ආයෝජන ගැන ප්‍රශ්න කරන්න, අද දක්වා කවුරුත් මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. අපි එතනට යන්න ඕනේ”රජයේ ආයතනයක් තොරතුරු ලබා දීමක් ප්‍රතික්ෂේප කළහොත් ඊට ඉදිරිපත් වන අභියාචනා විභාග කරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව විසිනි.එළෙස පරික්ෂා කළ තොරතුරු ඉල්ලීම් හැත්තෑ හතකින්, හැත්තෑ හයකටම තොරතුරු ලබා දෙන ලෙස කොමිසම නියෝග කර තිබේ.

දේශපාලන පක්ෂවල වත්කම් බැරකම් ප්‍රකාශන ද මහජනතාවට මුල්වරට නිකුත් කරනු ලැබුණේ තොරතුරු පනත හරහා කෙරුණු ඉල්ලීම් සමගය.
කෙසේ නමුත් දේශපාලකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කෙරුණේ පෞද්ගලිකත්වය රැක ගැනීමේ මූලධර්මය මතය.තොරතුරු නීතියේ මේ දක්වා ප්‍රගතිය “බාගයක් පිරුණු වතුර වීදුරුවක් ලෙස” හැඳින්විය හැකි බව මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
“මේ වතුර වීදුරුව ටිකෙන් ටිකෙන් ටික, බිංදුවෙන් බිංදුව තමයි පුරවගන්න ඕනේ””දන්නේ නැහැ අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේකෙන් පුද්ගලික හා පොදු කියන කාරණා දෙකේම ප්‍රශ්න වලට විසඳුම් සොයන්න මේ තොරතුරු නීතිය අවියක් කරගන්න පුළුවන් කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බී බී සී – සිංහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here