පැරදුණු දුකට මහින්ද දැන් ශ්‍රීලනි පාක්‌ෂිකයන්ගෙන් පළිගන්න හදනවා – දුමින්ද දිසානායක

0
71
views

මහින්ද රාජපක්‌ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී තම පරාජයට හේතු වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හෝ තමාගෙන් පළිනොගෙන ඒ වෙනුවට සමස්‌ත ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගෙන් පළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයෙන් අපි ආදරය කරපු මහින්ද රාජපක්‌ෂ මහත්තයා පැරදුණ බව ඇත්ත, නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හෝ පාක්‌ෂිකයා පැරදුණේ නෑතැයි ද ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, පක්‌ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ ඉකුත් 01 වැනිදා සවස විලච්චිය කුකුල්කටුව ගම්මානයේ ජනතාව සමඟ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්‌ වෙමිනි..

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පහුගිය කාලයේ අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ගැන කතා කරනවා වෙනුවට අපි කතා කළේ මහින්ද රාජපක්‌ෂ මහතා ගැනයි. වැසිකිළියක්‌ හැදුවත්, බෝක්‌කුවක්‌ දැම්මත්, පුටුවක්‌ බෙදුවත් කෙටියෙන්ම කිව්වොත් මළගෙදරක කතා කළත් අපි කිව්වේ මහින්ද රාජපක්‌ෂ මැතිතුමන්ගේ ශෝකයත් ප්‍රකාශ කරනවා කියලයි. හැබැයි මහින්ද මහත්තයා ඒ ගැන දන්නෙවත් නෑ. මොන සංවර්ධන වැඩ ගමට කළත් අපි කිව්වේ මේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා දුන්න සල්ලි වලින් තමයි මේවා හැදුවේ කියලා.

නමුත් ඇත්තටම ඒවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවේ වැඩ. පහුගිය කාලයේ අපි පක්‌ෂය ගැන නෙමයි කතා කළේ පුද්ගලයෝ ගැනයි.. අපි මහින්ද රාජපක්‌ෂ මහත්තයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. මහින්ද රාජපක්‌ෂ මහත්තයාව අපි දෙපාරක්‌ ජනාධිපති කළා. අපේ පක්‌ෂයේ බහුතරයක්‌ දෙනා තුන්වැනි පාරටත් එතුමාව ජනාධිපති කරන්න උත්සහ කළා. නමුත් ඒ අවස්‌ථාවේදී මේ රටේ ජනතාවගෙන් බහුතරයක්‌ එතුමාව ප්‍රතික්‌ෂේප කළා.

මහින්ද රාජපක්‌ෂ මහත්තයාට අපි ආදරය වුණාට අපිට ඒවා පිළිගන්න වෙනවා. සාධාරණ මැතිවරණයක්‌ තියලා සාධාරණ ප්‍රතිපලයක්‌ ලැබුණාම අපිට ඒක ප්‍රතික්‌ෂේප කරන්න බෑනේ.

අපි උදාහරණයකට ගත්තොත් අපේ ගමේ මරණාධාර සමිතියේ සභාපති තරගයට දෙන්නෙක්‌ ඉදිරිපත් වෙලා අවසානයේ එක ඡන්දයෙන් හරි එක්‌කෙනෙක්‌ දිනුවොත් එතුමාව සභාපති ලෙස පිළිගන්න වෙනවා. පැරදුණ කෙනාට ඡන්දය දුන්න කට්‌ටිය සේරම කෑ ගැහුවත් වැඩක්‌ නෑ. සමිතිය ඉස්‌සරහට ගෙනියන්න නම් අලුත් සභාපති එක්‌ක සාමාජිකයන්ට වැඩ කිරීමට සිදු වෙනවා. දේශපාලන පක්‌ෂයක්‌ විදිහට අපිත් මහින්ද රාජපක්‌ෂ මහත්තයාට කොච්චර ආදරය කළත් එතුමාව රටේ ජනතාව ප්‍රතික්‌ෂේප කරපුවම අපිට ඒක පිළිගන්න වෙනවා.

2015 ජනවාරි මාසේ 08 වැනිදා මහින්ද රාජපක්‌ෂ මහත්තයා පැරදුණාට අපිට වාසියක්‌ වුණා, අනික්‌ පැත්තෙන් තරග කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේම මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා. එහෙම නම් අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හෝ පාක්‌ෂිකයා පැරදිලා නෑ, පැරදුණේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා පමණයි. මහින්ද රාජපක්‌ෂ මහතා පැරදුණා කියලා කිසිම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයකුට දේශපාලන වශයෙන් පළිගැනීමක්‌, අසාධාරණයක්‌ සිදු වුණේ නෑ. ඒ තත්ත්වය උදා වුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‌ෂකයා වූ නිසයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වෙලා දින කිහිපයකට පස්‌සේ මහින්ද රාජපක්‌ෂ මහතා පක්‌ෂ සභාපතිකම මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දුන්නා. ඒත් එක්‌ක සියලු ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ට රැකවරණය ලැබුණා. දැන් එතුමා අලුතින් පක්‌ෂ පිහිටුවමින් යනවා, ඒ පක්‌ෂ සාමාජිකත්ව කාඩ් එකේ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ රූපය යොදා ගෙන පොදු ජන පෙරමුණ කියලා ගහලා තියෙනවා. මේ විදිහට මහින්ද රාජපක්‌ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කරපුවහම වෙන්නේ අපි දෙගොල්ලම පරාජයට පත් වෙලා වෙනත් පක්‌ෂයකට ජයග්‍රහණය හිමි වීමයි.

මේක මහින්ද මහත්තයාට තේරෙන්නේ නැද්ද? මහින්ද මහත්තයා මේ පළිගන්න හදන්නේ එතුමාව ජනාධිපති පුටුවට අරගෙන ගියපු අපෙන්මයි. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී හිටිය, මහින්ද මහත්තයා වෙනුවෙන් උගුර ලේ රහ වෙනකම් කෑ ගහපු ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගෙන්මයි මේ එතුමා පළිගන්නේ. මහින්ද රාජපක්‌ෂ මහත්තයා පැරදුණා කියලා ප්‍රාදේශීය සභාව, පළාත් සභාවත් පරද්දගෙන, ඊළඟට එන ආණ්‌ඩුවත් පරද්දගෙන ඇයි. අපියි විනාශ වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ වුණොත් අපි අනිවාර්යයෙන්ම පරාද වෙනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයෝ බෙදී වෙන්වෙලා හරියන්නේ නෑ, අපි ඕන කෙනකුට වෛරය, තරහා ඇති වෙනවානේ, අපි හොඳ මිනිස්‌සු නෙමෙයිනේ, අපි හැමදාම බණ ඇහුවාට බණ පිළිපදින්නේ නෑනේ. මහින්ද රාජපක්‌ෂ මහත්තයා සමඟ පක්‌ෂයේ ලේකම් තරග කරලා ලේකම් දිනපුවහම පොඩි ලැඡ්ජාවක්‌, තරහක්‌ ඇති.

පර්සි කුරුනේරු – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here