ලංසු තියන්න රවි දුන් උපදෙස්‌ ගැන මම කිසිවක්‌ දන්නේ නෑ – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

0
49
views

රාජ්‍ය බැංකුවලට අඩු පොලී අනුපාතවලට ලංසු තබන ලෙස ගිය වසරේ (2016) මාර්තු 28 සහ 30 දිනවල හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා උපදෙස්‌ දුන් බවක්‌ තමා දන්නේ නැතැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කීවේය.

ඒ බව තමාට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන්නේ නැති බවද මහේන්ද්‍රන් මහතා ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

මෙසේ අඩු පොලීයට රාජ්‍ය බැංකුවලට ලංසු තබන්නට උපදෙස්‌ දී ඊට වඩා වැඩි පොලී අනුපාතවලට මහ බැංකුව විසින් බැඳුම්කර ලංසු පිළිගැනීමෙන් රාජ්‍ය බැංකුවලට ආසාධාරණ තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා කීවේ තමා මෙය දුටුවේ පුවත්පත්වලින් බවයි. එය ඇත්තද නැත්ද හෝ හරිද වැරදිද කියා හෝ තමා නොදන්නා බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා කොමිසමට කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග දීමට මුදල් නීති පනත අනුව ඇමැතිවරයාට බලයක්‌ නැතැයි මුදල් නීති පනතේ වගන්ති පෙන්වාදෙමින් ෂහීඩා බාරි මහත්මිය හිටපු මහ බැංකු අධිපතිවරයා අමතමින් ප්‍රකාශ කළේය. එයට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් මහතා කීවේ තමාට ඒ සම්බන්ධව අදහසක්‌ දැක්‌වීමට නොහැකි බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here