වික්ටර් රත්නායකයන් වෙතින් ලද ප්‍රහර්ෂය මෙලොව අන් කිසිවක් සමග හුවමාරු නොකරනු ඇති

0
29
views

“යම් කෙනෙකු වෙරළ තීරයේ ඉපදී හැදුණේ වැඩුණේ නම්, නොගැඹුරු මුහුදේ පිහිනීමට හා කිමිදීමට ඔවුන්ට අද ඇති ලාභ හා සරල ආම්පන්න මගේ තරුණ කාලයේදී නො තිබිණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මිලියන ප්‍රමාණයක ජනතාවක් මුහුද කරා ඇදී එන්නට වූහ. මාළුන් සමග පිහිනමින් සිටින අද තරුණ පරම්පරාව අලුත් දෙයක් උරුම කර ගැනීමට නැතහොත් සම්පූර්ණ නවලෝකයක් උරුම කර ගැනීමට කෙතරම් වාසනාවන්තදැයි මම කල්පනා කරමි.”

– ආතර් සී ක්ලාක් –
වික්ටර් රත්නායකයන් සංගීතඥයෙකු සහ ගායකයෙකු ලෙස ශ්‍රී ලාංකේය කලා කෙතට පා තබන්නේ 1966,67 වකවානුවේදී. 1973 දී මේ නිර්මාණාත්මක සංගීතවේදියා “ස” නමින් නවතම සංගීත ප්‍රාසාංගික අත්දැකීමක් කැටුව අප වෙත පිවිසෙනවා. මෙතෙක් සංගීත සාගරයේ නොගැඹුරු පරාසයක දිය බුං ගසමින් සිටි ශ්‍රාවක සහ ප්‍රේක්ෂක සමුහයා ගැඹුරු මනරම් කොරල් පද්ධතියකින් සහ සුපෝෂිත ජීවී විවිධත්වයකින්ද සමන්විත කර්ණ රසායනයකින් යුත් සාගර පත්ලක් වෙත කැඳවාගෙන ගියේ ඔහු බව අප කවුරුත් දන්නා සත්‍යයක්. “ස” අත්දැකීම නොවිඳි කිසිවෙක් සතර දෙසින් වටවූ මේ දේශය තුළ වෙසෙයි නම්, ඒ අජීවී රූපකායක් පමණක් වෙනු ඇති. විවිධ පරස්පරයන්ගෙන් යුතුවූ පරම්පරා කිහිපයක්ම උසස් රසඥතාවයක් කරා ගොනුවීම “ස” ප්‍රසංගය ආශ්‍රිතව සිදූවූ බව අප කවුරුත් දන්නා ඇත්තක්.

දශක සතරකට ආසන්න කාලත්‍රයක් සුවහසක් සවන් යුග රංජනය කරවූ වික්ටර් රත්නායකයන් ගැන, ඔහුගේ ගීත සමුහය සහ සමුච්චය ගැන වාගේම ඔහුගේ ගායන මාධුර්යය ගැනත් අපට අසීමිත වචන සමුහයක් පැවසිය හැකිය. ලිවිය හැකිය. එහෙත් ඔහු විසින් තෝරාගන්නා ලද භාෂා සහ අර්ථ පෝෂිත ගේය පද රචනා, නිර්මාණාත්මක සංගීත නාද මාලා සහ අප සැම එකම ලෝකයකට කැඳවාගෙන ගිය ඔහුගේ ගායන මාධුර්යය නම් වූ සුභාවිත රිද්ම ත්‍රිත්වය සදාකාලිකව අප සිත් සතන් තුළ පැලපදියම් වී සිටී.

විශේෂයෙන්ම ඩී ඩී ගුණසේන, කළණි පෙරේරා, මහේන්ද්‍ර පැස්කුවල්, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක, ලෙලුම් රත්නායක, අතුලු ප්‍රවීණ වාද්‍ය වෘන්දයක් ඔහු වෙනුවෙන්ම වයන්නේත්, ඔහුගේ දියණියන්, සහ නිර්මලා රණතුංග, ඉන්දීවරී ආර්යසිංහ, ගයාත්‍රි ඒකනායක සමග දිවයිනේ ප්‍රමුඛම පෙළේ සංගීත අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු වන රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, ආනන්ද වීරසිරි ආදී

ප්‍රවීණයන් කණ්ඩායමක්ම එකම වේදිකාවේ ඔහු පසුපස ගායන වෘන්දයේ සිටගෙන ඔහු වෙනුවෙන්ම ගයන්නේත් වික්ටර් රත්නායකයන් පිළිබඳව ඔවුන් සතුව පවතින අපරිමිත භක්තියෙනි. ගෞරවයෙනි. අවසන් “ස” ප්‍රසංගය ඉදිරිපත් කිරීමේදී එය ඡායාරූප ගතකිරීමට අවස්ථාව ලැබීමද මා ලද ගෞරවයක් ලෙස සිතමි. අප ඇතුලුව ඔහු වෙනුවෙන්ම වූ ශ්‍රාවක සහ ප්‍රේක්ෂක සමුහයාද වික්ටර් රත්නායකයන් වෙතින් ලද ප්‍රහර්ෂය මෙලොව අන් කිසිවක් සමග හුවමාරු නොකරනු ඇති.

හේමන්ත අරුණසිරි -සත්හඬ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here