ගබ්සා නීතිය ගැන හදවතින් සිතන්න නුවණැසින් බලන්න

0
17
views

කාලෙන් කාලෙට යටපත් වෙමින් යළි මතුවෙමින් කතාබහට ලක්වෙන ශ්‍රී ලංකාවේ ගබ්සාව පිළිබඳව දැන් නැවතත් කරළියට ඇවිත්. ඒ විශේෂ අවස්ථා දෙකකදී මවගේ කැමැත්ත මත ගබ්සා කිරීමට අවස්ථාව ලබාදීමට වූ කැබිනට් යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය දීමත් සමඟය. ඒ අතවරයකට ලක්ව ගැබ්ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් ඒ අනුව ගබ්සා කිරීමට හිමිවන අනුමැතියයි.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 සිට 307 දක්වා වගන්ති වෙන්වී පවතින්නේ ගබ්සාව වෙනුවෙන්. කායික හෝ මානසික ලෙස මවගේ ජීවිතය දැඩි ලෙස අනතුරට පත්ව ඇති මොහොතක තමන්ගේ ජීවිතය බේරාගැනීමේ පරම අරමුණින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට පහසුකම් ඇති රෝහලකදී ගබ්සාවක් කිරීමට

ශ්‍රී ලංකාවේ නීතිය ඉඩදී තිබෙනවා. මේ හැර අන්හැම අවස්ථාවක්ම නීති විරෝධී ලෙසයි සැලකෙන්නේ.

ලෝකයේ රටවල් බොහොමයක් ගබ්සාව නීතිගත කර තිබුණත් ලංකා රජය මේ සම්බන්ධයෙන් නීතියෙන් අවසර ලබා දී නොතිබුණු අතර එය සමාජයීය වශයෙන්ද විවිධ කතිකා, වාද බිහිකිරීමට හේතුවක් වුණා. ඒ අනුව සාධාරණ හේතූන් දෙකක් සඳහා පමණක් ගබ්සා සිදුකිරීමට නීතියෙන් අවසර ලබා දෙමින් සම්පාදනය කළ නීති කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේදී හා පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවීම මෙරට ප්‍රජනන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක ප්‍රතිඵලයයි. මෙම අනුමැතිය බොහෝ දෙනකුගේ සතුටට කරුණක් වුවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මෙය දැඩි ලෙස හෙළා දකිනවා.

නමුත් ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය පසුගිය වර්ෂයේ ලිහිල් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දරු ගැබක් ගබ්සා කරගත් කාන්තාවකට සමාව දීමේ අයිතිය පූජකවරුන් වෙත ප්‍රදානය කළ බව මීට ඉහතදී දැනගැනීමට හැකිවුණා.

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා 650ක් පමණ සිදුවන බව මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි කළේ කැලණිය විශ්ව විද්‍යාලයයි. අවුරුද්දකට ගණන් බැලුවහොත් දෙලක්ෂ හතළිස් දහසකට අධික ගබ්සා සිදුවෙනවා. පෙර දත්තයන් හා සසඳන කල ගබ්සාවන් සිදු කිරීමේ වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කරන බව එම සමීක්ෂණයෙන් පැවසුණා. කුමන නීති පද්ධතියක් පැවැතියද දිනෙන් දින නවීකරණය වෙමින් ගලායන සමාජ ක්‍රියාවලිය තුළ ගබ්සාව විශාල සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කර හමාරයි.

ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල රැකවරණයක් නොමැතිව රහසිගතව සිදුකරනු ලබන ගබ්සා හේතුවෙන් ශාරීරික මානසික මෙන්ම ලිංගික වශයෙන්ද කාන්තාව අනාරක්ෂිත තත්ත්වයකට පත්ව සිටීමේ පසුබිම මත අධිකරණය, පොලිසිය, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඇතුළු පාර්ශ්ව කිහිපයක් එකතුව ගනු ලැබූ උක්ත තීන්දුවට හරස්වීම සාධාරණ නොමැති බවයි බොහෝ දෙනා පවසන්නේ. ඒ එහි සැබෑ අරමුණ දැන හෝ නොදැන විය හැකිය.

“මේක අයිතියක්. හැබැයි අකැමැති අයට මෙය නොකර ඉන්නත් පුළුවන්. නමුත් එකක් කිව යුතුය. කිසිවකුටත් මෙය අවභාවිත කරන්න නම් බෑ.”

ශ්‍රී ලංකා පරාජනන සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. ලිංගික අතවරයකදී එයට ලක්වන කාන්තාව විඳින මානසික පීඩාව හා ආබාධ සහිත දරු උපතකින් අනතුරුව මවුපියන්ට විඳින්නට සිදුවන පීඩන අවධානයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මණ්ඩලයක් මඟින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි ඔහු පවසන්නේ.
“නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද යෝජනා ඇතුළත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙයි. අපි මේ සම්බන්ධව කතා කළේ අද ඊයේ නොවෙයි. මීට පෙරත් දෙවරක් කැබිනට් අනුමැතිය සඳහා මේ යෝජනාවලිය ඉදිරිපත් වුණත් ඒ අවස්ථා දෙකේදීම යෝජනාවන් ප්‍රතික්ෂේප වුණා. සමහරුන් මෙයට විරුද්ධව හඬ නඟන්නේ මෙය අවභාවිත වෙයි කියන බිය නිසා වෙන්න ඕනි. නමුත් එවැනි දෙයක් සිදුවෙන්න ඉඩකඩක් නෑ.

කෙනෙක් ගබ්සාවක් කරා යොමුවන්නේ නම් ඒ සඳහා වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අවශ්‍යමයි. ඒ වගේම විද්වත් මණ්ඩලයේ අනුමැතියත් අවශ්‍යමයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් නව ජන්ම විශේෂඥ වෛද්‍යවරයෙක්, විකිරණ විද්‍යාව හා සම්බන්ධ පුද්ගලයෙක් හා මානසික විශේෂඥ වෛද්‍යවරයෙක් මේ විද්වත් මණ්ඩලයට අයත්. ඊට අමතරව මෙම සැත්කම සිදුකළ හැක්කේ රජයේ රෝහලකදී පමණයි. සැත්කම කළ යුත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක්.

මොනයම් හේතුවක් මත හෝ තමන්ගේ කුස තුළ වැඩෙන දරුවාගේ මොළය වැඩී නොමැති නම් වකුගඩු දෙකම නැති නම් වැනි එවැනි දරු උපතකින් මවට ඇති පලේ මොකක්ද..? මේවට තමයි මාරාන්තික උපත් ආබාධ කියන්නේ. මවත් දුක් විඳිනවා. මෙලොවට බිහිවෙන්න ඉන්න දරුවත් කවදා හෝ දුක් විඳිනවා. අන්න ඒ දේට විසඳුමක් හොයන්නයි අපිට ඕන වුණේ. නමුත් මේ කිසිවක් බලහත්කාරයෙන් වෙන්නේ නෑ. සියල්ල සිදුවන්නේ මවගේ කැමැත්ත ඇත්නම් පමණයි.”

ලිංගික අතවරයකට ලක්ව ගැබ්ගත් කාන්තාවකට මෙම ක්‍රියාදාමය වලංගු වන්නේ කෙසේදැයි විමසීමට අපි අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ අදහස් විමසුවෙමු.
“දූෂණයක් කියන්නේ කැමැත්තෙන් සිදුවන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම පාසල් යන ළමයින් දූෂණයට ලක්වී ගර්භණී වීම අද බහුලව සිදුවෙන දෙයක්. ඒ වගේම අපිට මෑතකදී අහන්න ලැබුණා නුවර ප්‍රදේශයේ පාසල් ළමයින් විශාල ප්‍රමාණයක් ගැබ්ගෙන ඇති බව. මේ අයගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වෙන බව අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. මෙය විශාල සමාජමය හා මානසික ප්‍රශ්නයක්. මෙවැනි විටකදී ශීලවත් ශිෂ්ටාචාර සමාජයක් විදියට අපි කාන්තාව දිහා අනුකම්පාවෙන් බැලිය යුතුයි. ඇයට අදාළ ගබ්සාව කිරීමට අවසර දිය යුතුයි. ඇයට අයිතියක් තියෙනවා මේ කරදරයෙන් මිදෙන්න.”

ගබ්සාවක් සිදුකිරීමට පෙර මෙය අතවරයකින් වූ දෙයක්ද කියලා හඳුනාගන්නේ කොහොමද..?

“එය උසාවි මාර්ගයෙන් තීරණය වී අවසන් නිර්දේශය එද්දී ප්‍රමාද වැඩියි. ඒ අනුව අපි තීරණය කළේ පොලිස් වාර්තා මත අධිකරණ වෛද්‍යවරයාගේ හා රජයේ රෝහලක කාන්තා නියෝජනයක් සහිත කණ්ඩායමක් මඟින් ලැබෙන අනුමැතිය මත ඒ සඳහා යොමුවීමටයි. මෙය තනිව ගත හැකි තීරණයක් නෙවෙයි”

ගබ්සාව තහනම් කිරීම යනු ප්‍රජනන සම්බන්ධයෙන් ගැහැනිය සතු අයිතිය උදුරා ගැනීමක්. බටහිර මතය එයයි. ඔවුන්ට අනුව ගබ්සාව නීති විරෝධී කොට සැලකීම තුළින් සිදුවන්නේ ජීවත් වන ගැහැනියකගේ අයිතිය පැහැර ගෙන මෙලොව ජනිත නොවූ දරුවකුගේ අයිතිය ආරක්ෂා කිරීමයි. ගබ්සාව අද මෙරට සමාජ මාතෘකාවන් වන්නේ මේ පසුබිම මැදයි.

වෛද්‍ය කපිල ජයරත්න මහතාගේ අදහසට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිදුවන ගබ්සා මරණ සංඛ්‍යාව පවතින්නේ පහළ අගයක. පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ ජනතාව නිසි පරිදි අවබෝධ කරගෙන සිටීමත්, අනවශ්‍ය ගැබ්ගැනීමකට ඇති ඉඩකඩ අවම කරගැනීමට තරම් වත්මන් ප්‍රජාව දැනුවත් වී සිටීමත් මීට හේතු ලෙස ඔහු දක්වනවා.
“අද තරුණ ළමයින් වුණත් දන්නවා ලිංගික සබඳතාවක් ඇති වුණොත් ගැබ් ගැනීමක් වළක්වා ගන්න ඕන වුණොත් ගත යුතු ඔෟෂධ මොනවාද කියලා. තමන්ම තම ගබ්සාව කරගැනීමට තරම් ඔවුන් ඉදිරියට ගිහින්. මේ නිසා වසරකට ශ්‍රී ලංකාව තුළ කොයිතරම් ගබ්සාවන් ප්‍රමාණයක් සිදුවෙනවාද කියලා සංඛ්‍යාත්මකව ගණන් බැලීම ගැටලුවක් වෙලා.”

චාමිණී ගම්මන්පිල – මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here