රනිල් ෆින්ලන්තයට…! එරට ප්‍රධාන ව්‍යවසාය සමාගම් 3 ක් ලංකාවට..!!

0
47
views

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව තව තවත් පුළුල් කරලීම සඳහා ෆින්ලන්ත ව්‍යවසායන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමටත්, ඒ ඔස්සේ දෙරට අතර සම්බන්ධතාවයන් ශක්තිමත් හා අර්ථවත් කරලීමටත් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ සිය ෆින්ලන්ත නිල සංචාරය අරඹමින්, ෆින්ලන්තයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක ආයතන තුනක් සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය.

අද (09 වන දා) දහවල් හෙල්සින්කි නුවර ෆින්ලන්ත මන්දිරයේ දී පැවති මෙම දිවා භෝජන සාකච්ඡාවට ෆින්ලන්තයේ නිල ආනයන ණය සමාගම වන ෆින්වේරා (Finnvera), නෝර්ඩික් ආයෝජන බැංකුව (Nordic Investment Bank) සහ ෆින්ලන්තයේ ප්‍රමුඛ තාක්‍ෂණ සේවා සැපයුම් ආයතනයක් වන ඔටොටෙක් (Outotec) යන ව්‍යවසායයන්හි ඉහළ පෙළේ නිලධාරීහු සහභාගී වූහ.

තම ආයතනයන්හි සේවා කාර්ය භාරයන් හා විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි තම ආයතනයන්ට සිදු කළ හැකි සේවාවන් සම්බන්ධව ඒ ඒ ආයතන කරුණු ගෙනහැර දක්වන ලදී. සීග්‍ර සංවර්ධන මාවතකට එළැඹ ඇති ශ්‍රී ලංකාව තුළ තමන්ට සිදු කළ හැකි ආයෝජන හා ව්‍යාපෘති පිළිබඳව ද ආයතන ප්‍රධානීහු තොරතුරු ඉදිරිපත් කළහ.

ආයෝජන, මූල්‍ය ආධාර, කසල ඔස්සේ බලශක්ති උත්පාදනය, පානීය ජල සැපයුම් ආදී ‍ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ඔටෝටෙක් සමාගම 1990 වසරේ සිට ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන පානීය ජල ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද තොරතුරු මෙහිදී අවධානයට යොමු විණි.

වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් ඒමස් සිරිල් ඩේවිඩ් ජුලෙන්බර්ගල් (Amos Cyril David Gyllenbogel) ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූහ.

දකුණු ආසියාව සඳහා ෆින්ලන්ත තානාපති රූලි සුයික්කනෙන් (Rauli Suikkanen), දකුණු ආසියා කලාපීය කළමනාකරු පේත්‍රි වනර් (Perti Wanner), ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ (Mathilda Kurki) මතිල්ඩා කුර්කි , ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර්, ෆින්වෙරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පවුලි හෙයික්කිලා (Dr Pauli Heikkila), ෆින්ලන්ත අපනයන ණය සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා අනිතා මෝනා (Anita Muona), wටොටෙක් සමාගමේ ඛණිජ, බලශක්ති සහ ජල අංශ නියෝජ්‍ය විධායක සභාපති ආචාර්ය කල්ලෙ හරක්කි (Dr Kalle Harkki), නොර්ඩික් ආයෝජන බැංකුවේ නියෝජ්‍ය සභාපති හා ණය අංශ ප්‍රධානී තොමස් රැංඩහි (Thomas Wrangdahi), ෆින්වෙරා සමාගමේ නියෝජ්‍ය විධායක සභාපති යුසි හාරසිත්තා (Jussi Haarasitta), ඔටොටෙක් සමාගමේ මූල්‍ය අංශ නියෝජ්‍ය සභාපති යුසි පෙන්තිලා (Jussi Penttila) සහ නොර්ඩික් ආයෝජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඔලි ලෙම්පියන්නෙන් (Olli Lempiainen) යන මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here