සරම උස්සාගෙන සිංහලයන්ට ජයවේවා කිව්වට බදු ගෙවන්න වෙන්නේ පොදු ජනතාවටයි

0
287
views

මාක්ස්වාදයේ තියෙන්නේ හොඳට කාලා, බීලා, නටන ජොලි කරන ජීවිතයක් ගත කරන්න කියලයි. මාක්ස්වාදය තියෙන්නේ එවැනි ජන සමාජයක් හදන්නයි. නමුත් අපේ සමහර වාමාංශිකයො හිතන්නේ නොකා නොබී ඉන්න ඕන කියලයි. ඒ නිසා අපේ රටේ සමහර මාක්ස්වාදීන් යැයි කියා ගන්නා අය නාන්නෙ නැහැ. සමහර අය රැවුල කපන්නේ නැහැ. ඒ ගොල්ල හිතන්නෙ සමාජවාදියා කියන්නේ පෙරේතයෙක් කියලා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.ලෝක වැඩිහිටි දිනය හා ළමා දිනය සැමැරීම සඳහා රාජිත සේනාරත්න පදනම සහ බේරුවල යහපාලන සංසදය බේරුවල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා එසේ කීවේය.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීවේය.ලංකාවෙ සමහරු හිතන්නේ මාක්ස් රැවුල වැව්වේ ඒංගල්ස් රැවුල වැව්වේ, ලෙනින් කට් එකක් දැම්මේ සමාජවාදය නිසා කියලයි.ඒ කාලයේ යුරෝපයේ තිබුණ සංස්කෘතිය නිසා ඔවුන් කොණ්ඩ, රැවුල් වැව්වා. ප්ලේටෝලගේ කාලේ ඉඳලා හැම දාර්ශනිකයකුම රැවුල්කාරයො කොණ්ඩකාරයො. අපේ අයියලා මේක අරගෙන නාන්නෙ නැහැ. කොණ්ඩේ රැවුල කපන්නේ නැහැ. මගෙත් එක්ක හිටපු සමහර සමාජවාදීකාරයො නාන්නෙ නැහැ. මම නම් හො¼දට නාලා හොඳට ඇඳුමක් ඇඳගෙන තමයි සමාජවාදය වෙනුවෙන් කතා කළේ. එහෙම නොවුණොත් දාඩිය ගඳ ගහලා ළඟ ඉන්න එකාට සමාජවාදය එපා වෙනවා.බැනුම් අහනවට මම බය නැහැ. මට නොබැන්න කාලයක් නැහැ. මම වමේ හිටියත් බැනුම් ඇහුවා. ශ්‍රී ලංකා හිටියදීත්, යූ.එන්.පී.යේ හිටියදීත් බැනුම් අහලා තියෙනවා. බැනපු එවුන් නැහැ. මම ඉන්නවා. වෙනස එච්චරයි. මට බැනපු අය ආගිය අතක් නැහැ. නමුත් මම දිගටම යනවා.

එදා සන්නද්ධ බළකායෙන් මගේ ගෙදරට ඇවිල්ලා කිව්වේ බොරැල්ලෙ තියෙන රැස්වීම නතර නොකළොත් වැඩිමල් දරුවා පැහැර ගන්නවා කියලා. නමුත් ඔවුන්ට බයේ මම රැස්වීම නතර කළේ නැහැ. රැස්වීම අමතලා කිව්වේ වනාතමුල්ලෙ ඊළඟ දවසෙ රැස්වීමට පොලිසිය, ත්‍රිවිධ හමුදාව එපා කිව්වා. මගේ රැස්වීමට පුළුවන්නම් ගහන්න කියලා ජේ.වී.පී. කාරයන්ට මම අභියෝග කළා.

අපේ රටේ මධ්‍ය විද්‍යාල ආරම්භ වූයේ නිදහස් අධ්‍යාපනය සඳහායි. සල්ලි තියෙන අය පෞද්ගලික අංශයේත් අනෙක් අයට විශ්වවිද්‍යාලත් හැදුවා. නමුත් අද කියන්නේ සල්ලි තියෙන එකාට ඉගෙන ගන්න එපා කියලයි. සල්ලි නැති අයත් අපි ගන්න පිරිස විතරක් ඉගෙන ගන්න කියලයි. මේ චින්තනයට වෙනම පක්ෂ බිහිකරලා තියෙනවා. පෙරටුගාමී සහ ජේ.වී.පී. පක්ෂවල චින්තනය මෙන්න මේකයි. ඒ ගොල්ල මැතිවරණයකට ගියාම ඡන්ද කීයද ලැබෙන්නේ. අපේ ආණ්ඩුවේ සමහරු සයිටම් එකට බයයි. මම බය නැත්තේ මම මේ මිනිස්සු එක්ක ඉන්නවා.

හම්බන්තොට වරාය චීනයට විකුණනවා කියලා විරෝධතා මතු කරනවා. නමුත් චීනයට විකිණීමක් කරන්නේ නැහැ. චීනයට ඉඩම් විකුණුවේ රාජපක්ෂවරුන් විසිනුයි. වරාය නගරය ඉඩම ෂැංග්‍රිල්ලා හෝටලය ඉදිකිරීමට චීනයට ඉඩම් වික්කා. නමුත් අපේ රජය එම ඉඩම් අනූනව අවුරුදු බදු පදනමට බදු දීලා මේ රටේ ඉඩම් විකිණීම නතර කළා.
හම්බන්තොට වරාය ඉදිකිරීම හොඳයි. නමුත් තෙල් පිරවුම් මධ්‍යස්ථානයක් ඉදිනොකර ජාත්‍යන්තර වරායක් ලෙස මහින්ද රාජපක්ෂ බෝඩ් ගහගත්ත එක තමයි වරද. මේ වසරේදී හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් මිලියන 9000ක ණය ගෙවීමට සිදුවෙනවා. වසර 2020 වන විට එට රුපියල් මිලියන 15,200 දක්වා වැඩි වෙනවා. නමුත් ලාභයක් ලැබෙන්නෙ නැහැ. ගුවන්තොටුපොළ හැදුව වගේ මේ ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කළ යුතු බව මම එදා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. නමුත් ඉන් පලක් වූයේ නැහැ.

කවුද මේවාට ගෙවන්නේ. මේවා සේරම තියාගෙන සිංහල ජාතියට ජය වේවා! කියලා සරම උස්සගෙන ඉන්න පුළුවන්. නමුත් බදු ගෙවන්න වෙන්නෙ මෛත්‍රිපාල සිරිසේනටත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහටත් නෙවෙයි. මේ රටේ සාමාන්‍ය ජනතාවටයි.

වසන්ත කුමාර – මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here