මලික් හා කබීර් බැදුම්කර කොමිසමට ගෙන්වන්නේ ඇයි?

0
20
views

ඉමහත් ආන්දෝලනයට තුඩු දී ඇති මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව සාක්‍ෂි ලබාගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකු වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් අද (11 දා) සාක්‍ෂි ලබාගැනීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. මලික්‌ සමරවික්‍රම මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා වන අතර කබීර් හෂීම් මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා ද වේ.

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් 2015.02.27 වැනිදා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර දින එනම් 2015.02.26 වැනිදා උදේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති උදෑසන රැස්‌වීමට මලික්‌ සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් දෙදෙනාම සහභාගි වී ඇති බව කොමිසම හමුවේ මීට පෙර ඉදිරිපත්ව ඇති සාක්‍ෂිවලින් අනාවරණය වී ඇත. මහ බැංකුවේ එම රැස්‌වීම පැවැති අවස්‌ථාවේ කබීර් හෂීම් මහතා මහාමාර්ග සංවර්ධන ඇමැතිවරයා වූ අතර මලික්‌ සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක විය.

මේ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන මලික්‌ සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් දෙදෙනා අද ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට නියමිතය. විශේෂයෙන් 2015.02.27 වැනිදා බැංකුවේ පැවැති උදෑසන රැස්‌වීම පිළිබඳව මලික්‌ සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

සමාගමට අති විශාල ලාභ ලැබුණේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා..!
තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු හරහා අදහාගත නොහැකි තරම් අති විශාල ලාභ ලැබුණේ තමාත් රවි කරුණානායක ඇතුළු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා බව රාජ්‍ය බැංකු ප්‍රධානීන් හෙළි කළ තොරතුරුවලින්ම තහවුරු වනවා නොවේ දැයි ඊයේ (09දා) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් විමසා සිටියේය.

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීමට හේතු වූ කරුණු පිළිබඳ පිළිතුරු දෙන්නට විය. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් එලෙස විමසා සිටියේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අසීමිත ලෙස ලාභ ලැබුණේ තමාගේ උදවු උපකාර මත නොවන බවට ඉදිරිපත්වූ වාචකයට ප්‍රතිචාර දක්වමිනි. එතෙකින් නොනැවතුණු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලේඛන එකින් එක ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් පාලන සමය තුළ පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට වාසි හිමිවී ඇති ආකාරය පෙන්වා දුන් අතර ඒ බැව් පිළිගැනීමට මිස ඒ කිසිවකුත් ප්‍රතික්‍ෂේප කිරීමට අර්ජුන මහේන්ද්‍රන්ට නොහැකි විය.

සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර ගනුදෙනු අංශයට අර්ජුන් ඇලෝසියස්ගේ අතවැසියකු වූ සමන් කුමාර නමැත්තා කිසිදු සුදුසුකමක් පවා නොමැතිව පත්කොට ගත්තේත්, එතැන් සිට එකී අරමුදලට පාඩුපිට පාඩු ගෙන දෙමින් බැඳුම්කර ගනුදෙනු සිදු කළේත් තමාගේ අනුදැනුම පමණක් නොව තමාගේ සම්පූර්ණ මෙහෙයවීම යටතේ නොවේ යැයි තහවුරු කරන්නට එකදු සාක්‍ෂියක් හෝ හැකි නම් ඉදිරිපත් කරන්නැයිද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා මහේන්ද්‍රන් හට අභියෝගයක්ද ඉදිරිපත් කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහීඩා බාරි මහත්මිය විසින් ඊට නිදසුන් ගණනාවක්ම මහ බැංකු ලේඛන මඟින්ම ඉදිරිපත් කරමින් කරුණු විමසද්දී හිටපු මහ බැංකු අධිපතිවරයාට ඒවා නොපිළිගෙන සිටීමට නොහැකි විය.

එවන් එක් නිදසුනක් වූයේ, රුපියල් බිලියන 28ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවකදී (2015 ඔක්තෝබර් මස 02 දින) රුපියල් 100ක කොටස රුපියල් 110ක් බැගින් වන සේ මිලදී ගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එදිනම එම බැඳුම්කරයම රුපියල් 115ක් බැගින් වන සේ මිලකට සේවක අර්ථසාධක අරමුදලට (ඡ්ර්ථීජ්) අලෙවි කිරීමේ ගනුදෙනුවය. එවන්ම වූ ගනුදෙනු රාශියක් පිළිබඳ සහීඩා බාරී මහත්මිය අදාළ මහ බැංකු ලේඛන ඉදිරිපත් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසුවාය.

මේ අතර වත්මන් රජයේ ප්‍රභල අමාත්‍යවරුන් වන අමාත්‍ය කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රමට බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ අමාත්‍යවරුන් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here