අමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි

0
18
views

අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයෙන් (Unesco) ඉවත් විය.

එක්සත් ජනපදය එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ‘යුනෙස්කෝව’ ඊශ්‍රායල් විරෝධීව යමින් පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට චෝදනා කරමිනි.

බටහිර ඉවුර අල්ලා ගනු ලැබීම සහ ජෙරුසලමේ පුදබිම්හි සිදු කරන ඊශ්‍රායල් ක්‍රියාකාරකම් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ යෝජනාවක් මඟින් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබුණි.

දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩ නැගීමත් සමඟ ඊට අනුබද්ධව ආරම්භ කරන ලද ‘යුනෙස්කෝ’ සංවිධානයේ මූලස්ථානය ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති අතර එහි සාමාජික රාජ්‍යයන් සංඛ්‍යාව 195 කි.

සංවිධානයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යළි එහි නියෝජනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අධීක්ෂණ කණ්ඩායමක් පැරිස් නගරයට යවන බව පවසයි.

එක්සත් ජනපදයේ ඉවත්වීම යුනෙස්කෝව විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ පවුලට සිදු වූ අලාභයක් හැටියටයි.

එසේම එය ‘බහුපාර්ශවීය සබඳතා කෙරෙහි අත් වූ හානියක්’ වන බවත් යුනෙස්කෝ ප්‍රකාශනයේ දැක්වෙයි.

‘යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානී ඉරිනා බොකෝවා (Irina Bokova) අමෙරිකාව ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම ඉවත්වීම ‘බෙහෙවින් කනගාටුදායක’ සිදුවීමක් බව කියා සිටියාය.

කෙසේ වුවද, පසුගිය වසරවල යුනෙස්කෝව තුළට ‘දේශපාලනය’ බලපෑම් එල්ල කළ බවත් ඇය පෙන්වා දෙන්නීය.

සිරියාවේ පැල්මයිරා (Palmyra) සහ අමෙරිකා එක්සත් ජනපදයේ ‘ග්‍රෑන්ඩ් කැනියන්’ ප්‍රදේශය(Grand Canyon) ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ යුනෙස්කෝව විසිනි.

දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here