විදේශිකයන්ට උසස් තනතුරු දරන්න පුළුවන්දැයි විමසන්න ඒකාබද්ධය උසාවි යයි!

0
22
views

විදේශිකයන්ට මෙරට ආර්ථිකය මෙහෙයවන ආයතනවල උසස් තනතුරු දැරීමට හැකියාව තිබේදැයි ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයටත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති ධුරයටත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ නමැත්තා පත් කිරීමත්, අන්තර්ජාතික බැංකු හොරකමකට සැකකරුවකු ලෙස චෝදනා ලැබීමක් හමුවේ ඔහු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ මතුව තිබෙන බරපතළ තත්ත්වය හමුවේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිදුව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

විදේශ පුරවැසියන්ට තනතුරු පිරිනැමීම සම්බන්ධයෙන් ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුව තිබෙන බව පෙන්වා දෙන ගුණවර්ධන මහතා, විදේශ පුරවැසිභාවයක් ඇතැයි කියන චෝදනාව මත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධුරයට අභියෝග කරමින් අධිකරණය හමුවේ නඩුවක් විභාග වන බවත්, යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහන යටතේ සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් මුදල් අච්චුගහන තැන ප්‍රධාන විධායකයා ලෙස පත්කළේ එම පත්වීමට රාජිත සේනාරත්න හා චම්පික රණවක කැබිනට් මණ්ඩලයේදී පළ කළ විරෝධය පවා නොසලකා බවත් කියයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා කරළියට ගෙන ආ ලකුණ වූයේ හංසයා බවත් එම ලකුණ හිමි දේශපාලන පක්ෂයේ සභාපති වූ රවි කරුණානායක මහතා දින 100 ආණ්ඩුවේ මුදල් ඇමැති වශයෙන් සිටියදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ලෙස මෙරට පුරවැසියකු නොවන ශලීල මුණසිංහ පත්කර ඇති අතර ඔහු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කරනු ලැබුවේ රවි කරුණානායක මහතා එවක මුදල් ඇමතිව සිටියදී බවත් එම පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ ෂාමිලා පරේරා මහත්මිය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත් කළ බවත් රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කර විදේශ කටයුතු ඇමැති ලෙස පත්වූ අවස්ථාවේ ලොතරැයි මණ්ඩලයත් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරාගත් බවත් ගුණවර්ධන මහතා කීවේය.

විජාතික පුරවැසියන් දෙදෙනකුම රජයේ ප්‍රධාන ආයතන දෙකකට පත් කරනු ලැබුවේ යහපාලන ආණ්ඩුව යටතේ බවද ගුණවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here