ඔබගේ අශ්ලීල ආත්මයට අනුර කුමාර ඔසුවකි

0
300
views

මිනිසුන්ට සිහින දැකීමට නම් ඔවුන්ගේ සංකේතීය ලෝකයේ අනෙකා එම සිහින වාරණය කළ යුතුය. මිනිසුන්ට විනෝද වීමට නම් අනෙකාගේ විනෝදයට බාධා කළ යුතුය. මධ්‍යම පාංතිකයන්ගේ ආත්මීය සැනසීමට මෑතක දී තදින්ම කෙළවුණේය. ඒ අනුරගේ පුතාගේ විවාහයත් ඔහු ස්ලිට් ආයතනයෙන් ඉගෙන ගෙන එයාර් ලංකා සමාගමේ රැකියාව කිරීම පිළිබඳවත් දැනගැනීමෙනි.
මීට පෙරත් අනුරගේ අයර්ලන්ත නිවස ගැන මිනිස්සු මෙලෙසම කලබල වූහ. මිනිසුන් මෙසේ කලබල වන්නේ ඔවුන් නොදන්නා ප්‍රමෝදයක් අනුර විඳිමින් ඉන්නවා යැයි සැක පහළ කිරීම නිසා යන සරල අවබෝධයවත් නොමැති නිසා ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටියේ මේ අසත්‍යය පුවත් සම්බන්ධව පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවයි. අප වටහාගත යුත්තේ මේ දේශපාලනික ගැටලුවක් නොව පහළ මධ්‍යම පාංතිකයන්ගේ එළියට පැමිණි අහිමි වූ විනෝදයේ වේදනාව බවයි. රවී කරුණානායකගේ වැඩ Fivestar වීමත් අනුර කුමාර ඔබගේ ඉරිසියාවට ලක් වීමටත් හේතුව ඇත්තේ පිටත නොව ඔබ තුළමය.

මෙසේ බලන කල ෆේස්බුක් හා පුවත් වෙබ් අඩවි තුළ උණුසුම්ම මාතෘකාව වූයේ රවී කරුණානායක ලොතරැයි මණ්ඩලය ඉල්ලීම නොව අනුරගේ පුතාගේ මඟු ල හා රැකියාවයි. රවී කරුණානායක ටයි කෝට් අඳින පහළ මධ්‍යම පාංතිකයන්ට පංතිමය වශයෙන් ළඟා විය නොහැකි විනෝදයක් ලබන නිසාත් අනුර කුමාර පහළ මධ්‍යම පාංතිකයන්ගේ ආත්මීය ආශාවේ වස්තුවක් වන නිසාත් මේ තක්කඩින්ට තමන්ගේ තක්කඩිකම් කරගෙන යාමට හා විනෝදය පවත්වාගෙන යාමට අනුර දුෂ්කර ක්‍රියා කළ යුතුය. මීගමුව වැනි ප්‍රදේශවල යමෙක් මැරුණු විට කුලියට අඬන්නට ගැහැනුන් ගෙන්වීමත් මේ වාගේම වැඩකි. සල්ලිවලට ගෑනු විලාප දෙන විට ඥාතීන්ට කාමරයට වී නිවීහැනහිල්ලේ දේපළ බෙදාගත හැකිය.

මේ දේශපාලනික ගැටලුවක් නොවේ. මේ නරුමවාදයි (Cynicism). ලංකාවේ මිනිසුන්ගේ නරුමකමයි. නරුමකම නොවේ නම් අනුරගේ පුතාගේ විනෝදයට හිරිහැර කරන්නේ නැත. බාධා කරන්නේ නැත. මේ මොහොතේ ඔබගේ විනෝදය කොල්ලකා ඇත්තේ අනුර කුමාරද? අනුරගේ පුතා ස්ලිට් එකට නොගියේ නම් එයාර් ලංකා රැකියාවක් නොකරන්නේ නම් ඔබගේ ජීවිතයේ පරම ප්‍රමෝදය ඔබට අත්වනවාද? ඔබ වටහාගත යුතු වන්නේ මේ ෆේස්බුක් හා වෙබ් අඩවි තක්කඩියන් විසින් රටේ මේ මොහොතේ ඇති ඇත්ත අර්බුද ෆැන්ටසි වස්තුවකින් වසා දමනා ආකාරයයි. එමෙන්ම ඕනෑම දෘෂ්ටිවාදයක් යෝජනා කරන්නේ අර්ථයක් නොව විනෝදයකි. මෙවැනි සිද්ධීන් මතු වීමේ දී අප කළ යුතු වන්නේ අනුරගේ පුතාගේ විනෝදය සොයා බැලීම නොව මේ සමාජයේ නරුමවාදීන්ගේ ස්වභාවය වටහා ගැනීමයි. අනුරගෙන් සත්‍යවාදී ජීවිතයක්, අලිංගික ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අශ්ලීල විනෝදය තවදුරටත් පවත්වාගෙන යාමට ය. මධ්‍යම පාංතිකයන්ට සුව නින්දක් ලැබෙන්නට නම් අනුර කුසගින්නේ සිටිය යුතුය. සැබෑව එයයි. අනුර වටහාගත යුතු වන්නේ ද මේ පහළ මධ්‍යම පාංතිකයන්ගේ ආත්මීය ආශාවයි.

මිනිසුන් තම අදහස් ප්‍රකාශ කරන සෑම අවස්ථාවකම තම අවිඥානික පැවැත්මට සම්බන්ධ සත්‍යයක් ප්‍රකාශ කර සිටී. අප නිරන්තරයෙන්ම අවධානය යොමු කළ යුතු වන්නේ එහි සැඟවී ඇති ප්‍රකාශනයටය(Enunciation) එනිසා ෆේස්බුක් විපරිතයන්, තක්කඩින් අනුරගේ පුතාගේ මඟු ල ගැන කරන විවේචන දේශපාලනික නැත. ඒවා තමන්ගේ ප්‍රමෝදය පිළිබඳ ස්වයං විවේචනයි. මේ සමාජය තම පැවැත්ම, ජීවිතය හා තම විනෝදය හැඩගස්වාගෙන සිටින ආකාරය මෙවැනි විවේචන මඟින් හෙළිදරව් වේ. අනුරට බැණ වැදී අනුරගේ පුතාට වෛර කිරීම තක්කඩිකමක් වන්නේ එහෙයිනි.
පුන පුනා කිවයුතු වන්නේ මෙය දේශපාලනික ගැටලුවක් නොව සරලවම මෙය මනෝ ව්‍යාධියකි. ඔබගේ අශ්ලීල විනෝදය පවත්වාගෙන යාමට නම් සංකේතීය ලෝකයේ එයට බාධා පමුණුවන්නකු සිටිය යුතුය. එසේ වීමෙන් ලැබෙන්නේ ආත්මීය සහනයකි. එනිසා මේ නරුම සමාජය බලාපොරොත්තු වන්නේ සාන්තුවරයෙකි, රහතන් කෙනෙකි, විජේවීර කෙනෙකි, ප්‍රභාකරන් කෙනෙකි. ප්‍රභාකරන් මරා දැමීමෙන් සිංහල සමාජයට අහිමි වූයේ ඔවුන්ගේ අශ්ලීල විනෝදයට බාධා පමුණුවන්නෙකි. බොදු බලේ වැනි ජාතිවාදී සංවිධාන, වෙනත් ආගමික ව්‍යාපාර, මුස්ලිම් අන්තවාදීන්, වඳ බෙහෙත් කා වැද්දූ තනපට පමණක් නොව ප්ලාස්ටික් හාල් ද පැමිණියේ ඒ හිස්තැනටයි. මේවා සැබෑ ගැටලුවසා දමන නූතන ෆැන්ටසි වස්තූන්ය.

රන්ජන්ට වඩා මධ්‍යම පාංතිකයන් මේ මොහොතේ පාලිත තෙවරප්පෙරුමට ආශා කරන්නේ ඇයි? මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් පාලිත අතේ කටේ මඩ උලා ගන්නා නිසා නොවේද? එවිට තවදුරටත් ඔබගේ පරම හතුරා වන්නේ අනුර නොව තෙවරප්පෙරුමය. ආයෙමත් තෙවරප්පෙරුමට ඔබ ආශා කිරීමට නම් ඔහු මඩ ලොරියක්ම කෑ යුතුද?

ඔබට දරාගත නොහැකි ඔබගේම පළුදු වී තුවාල වී ඇති අශ්ලීල ආත්මයට අනුර කුමාර යනු සුවයකි. ටයි කෝට් ඇඳි රවී කරුණානායකට ලබා දිය නොහැකි සහනයක් පාට සේදුණු රතු කමිසය හැඳි අනුර කුමාර ඔබට ලබා දේ. අනුරගේ පුතා උදුරා ගන්නට තැත් කළා යැයි ඔබ සැක කළේ, බිය වී කුලප්පු වූයේ ඒ සහනය නොවේද? ඒ අනුව අනුරලා තෙවරප්පෙරුමලා කළ යුතු වන්නේ ඔබේ අශ්ලීල ප්‍රමෝදය පවත්වාගෙන යාමට වන්දි ගෙවීමද?

රමේෂා සිරිවර්ධන – sathhanda.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here