දෙමළ ජනතාව අතර වීරයින් වීමට කරන උග්‍ර බල අරගල හර්තාල් කා වෙනුවෙන්ද?

0
13
views

උතුරේ යළිත් හර්තාලයක්‌ පැවැත්විණි. හර්තාලයේ උණුසුම දකුණට නොදැනුණු නමුත් මේ නිසා උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ක පහේම සිවිල් ජන ජීවිතය ඇනහිටිණි. බස්‌ රථ ධාවනය වූයේ නැත. රජයේ මෙන්ම පෞද්ගලික ආයතනද වසා දමා තිබිණි. කොටි සිරකරුවන් 132 ක්‌ වෙනුවෙන් රටේ උතුරු පළාත අරාජික වීමට ඉඩ දිය යුතු නැත. මේ සිරකරුවන් පූස්‌ පැටව් නම් නොවේ. මොවුන් බරපතළ අපරාධකරුවන්ය. යුද අපරාධ සිදුකළ තැනැත්තන්ය. ජන සංහාර සිදුකළ ඝාතකයින් වෙනුවෙන් උතුරේ ජනතාව පෙනී සිටීම බලවත් ප්‍රශ්නයකි. මේ අරාජිකත්වය නවතින්නේ කොතැනින්ද? දෙමලුනි නැගිටිව් දෙවැනි නාටකය දැන් උතුරේ ක්‍රියාත්මක වෙයිs. එදා පොංගු තමිල් නිසා යාපන වැසියෝ පීඩාවට පත්වූහ. එදා හර්තාල් සිදුකෙරුණේ ප්‍රභාකරන්ගේ තුවක්‌කුවේ බලයෙනි. අද හර්තාල් කරන්නේ උතුරු පළාත් සභාවේ පූර්ණ ආශිර්වාදයෙනි. උතුරු පළාත් සභාව ජනජීවිතය නඟා සිටිනුවස්‌ වඩා සාර්ථකව සිදුකරන්නේ හර්තාල්ය.

මේ හර්තාල්වලින් ලබාගත හැකි ජයග්‍රහණයක්‌ නැත. යාපනය දරු දැරියන්ගේ පාසල් වසා දැමීමෙන් කොටි සැකකරුවන්ට නිදහසක්‌ ලැබෙන්නේ නැත. උතුරේ වැසියන්ට දැනෙන සේවයක්‌ කිරීමට විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා ප්‍රමුඛ දෙමළ සන්ධාන පළාත් සභා මන්ත්‍රී නඩයට හැකි වූයේ නැත. එම නිසා සිය දේශපාලන ජනප්‍රියතාවය රැකගැනීම වෙනුවෙන් උතුර අඩපණ කිරීම සිදුවෙයි.

ජනපතිවරයා පසුගිය සෙනසුරාදා යාපනයේ සංචාරය කරන විට දෙමළ සිරකරුවන් නිදහස්‌ කරන්නැයි මොර දෙන එන්. කේ. සිවාජිලිංගම් ඇතුළු නඩය උද්ඝෝෂණය කරන ස්‌ථානයට ද ගියේය. එහෙත් මේ උද්ඝෝෂකයෝ ජනපති සමඟ හෝ සාකච්ඡාවට සූදානම් නැත. වහාම ත්‍රස්‌තයින් නිදහස්‌ කරන ලෙස මේ ජාතිවාදී නඩය බලකර සිටී. රටේ විධායක ජනාධිපතිවරයා සමඟවත් සාකච්ඡාවට සූදානම් නැති මොවුනගේ යටි අරමුණු පැහැදිළිය. කොටි සිරකරුවන්ගේ ප්‍රශ්නය මුල්කරගෙන උතුර අස්‌ථාවර කර යළිත් වරක්‌ කොටි අවතාර අවදි කිරීම සිවාජිලිංගම් ඇතුළු නඩයේ උත්සාහයයි. ජනපතිවරයාටද කළු කොඩි වැනුවේ ඒ නිසාද? කළු කොඩි වනා ත්‍රස්‌තයින් නිදහස්‌ කරගත නොහැක. දිනපතා හර්තාල් කළද ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනය එල්ල කරන මේ කොටි බෝම්බකරුවන් නිදහස්‌ කළයුතු නැත.

ඇව්රෝ යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කර සාමාන්‍ය වැසියන් ඝාතනය කළ ත්‍රස්‌තයන්ට පොදු සමාව දිය යුතු නැත. අත්අඩංගුවට පත් හමුදා භටයින් මරා පිළිස්‌සූ ත්‍රස්‌තයින් දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය හැකිද? එහෙත් මේ සියලු දෙනා නිදහස්‌ කළ යුතු යෑයි විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉල්ලා සිටී. සම්බන්ධන්ගේ ඉල්ලීම ජනපතිවරයා නොතකා හැරීම නිසා සම්බන්ධන් ඇතුළු නඩය යාපනයේ පැවැති දෙමළ දින සැමරුමට සහභාගි වූවේද නැත.

විපක්‍ෂ නායකවරයා උතුරේ හර්තාල් පවත්වන්නට මැදිහත් වූයේ නැත. ඒවා පවත්වන්නට මැදිහත් වූයේ විග්නේෂ්වරන් ඇතුළු කණ්‌ඩායම බව නොරහසකි. කවරක්‌ නමුත් දෙමළ ජනතාව අතර වීරයින් වීමට දෙමළ සන්ධානය තුළම උග්‍ර බල අරගලයක්‌ නිර්මාණය වී තිබේ. මේ අරගලයෙන් උතුරේ ජනතාවට යහපතක්‌ අත්වන්නේ නැත. පුරා වසර 30 ක්‌ අස්‌ථාවරවූ ජීවිත යළි ස්‌ථාවර වූයේ 2009 මැයි මාසයෙන් පසුවය. මේ ඊනියා හර්තාල්වලින් සිදුවන්නේ යළි උතුර අස්‌ථාවරවීමට පාර කැපීමය. ආණ්‌ඩුව ඊට ඉඩ දිය යුතු නැත.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here