ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව මහින්දගෙන් නිවේදනයක්.

0
18
views

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆෙඩරල් පදනම දක්‌වා වෙනස්‌ කිරීම පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

එම නිවේදනය මෙසේය.

නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා යෝජනාවලියක්‌ ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලන පාර්ශ්වය ජනතාවට දුන් ව්‍යවස්‌ථාමය පොරොන්දු වූයේ, 2015 අප්‍රේල් 20 වෙනිදාට පෙර මැතිවරණ ක්‍රමය වෙනස්‌ කොට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පමණි. මුළු ව්‍යවස්‌ථාවම වෙනස්‌ කිරීමට ජනවරමක්‌ මේ ආණ්‌ඩුවට ලැබුණේ නැත. මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවලියේ පහත දැක්‌වෙන යෝජනා වලට අපට කිසිසේත්ම එකඟ විය නොහැක.

සිංහලෙන් ‘ඒකීය’ යන වචනය තවදුරටත් භාවිත කරන අතර, ‘යුනිටරි’ යන ඉංග්‍රීසි වචනය හා එම සංකල්පය නව ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීම. ඒ අනුව ලංකාවේ බහුතර ජනතාව මෙය ඒකීය රටක්‌ යෑයි සිතා සිටියත්, ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලංකාව තවදුරටත් ඒකීය නැතිනම් ‘යුනිටරි’ රටක්‌ නොවනු ඇත. ජනතාව මුලා කිරීමට ගෙනවිත් ඇති මේ සටකපට යෝජනාව අපි හෙළා දකිමු.

යෝජනාවලියේ සිව්වන පිටුවේ උතුරු නැගෙනහිර පළාත් එක්‌ ඒකකයක්‌ ලෙස පිළිගත යුතු බවට සඳහන් වී තිබීමෙන්ද, වත්මන් ව්‍යවස්‌ථාවේ පස්‌වන වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජයේ භූමිය ‘පරිපාලන දිස්‌ත්‍රික්‌ක’ 25 කින් සමන්විත වන බවට ඇති නියමය වෙනස්‌කොට, නිශ්චිතව සඳහන් නොකරන පළාත් ගණනකින් එය සමන්විත විය යුතු බවට කර ඇති යෝජනාවෙන්ද, මේ සැරසෙන්නේ කුමකට දැයි පැහැදිලි වේ.

මේ යෝජනාවලියේ, ‘අනුපූරකතාවය’ නැමති මූලධර්මය අනුව පළාත් මට්‌ටමින් කළ හැකි සියලූම දේ පළාත්වලට පැවරිය යුතු යෑයි යෝජනා වී ඇත. බෙදුම්වාදීන් 1972 සිට උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා සිටියේ මෙවැනිම සංකල්පයක්‌ අනුව නොවේදැයි කවුරුත් කල්පනා කර බැලිය යුතුය.

පළාත්වලට මෙකී අනුපූරකතා මූලධර්මය අනුව බෙදා දෙන බලතල, සියලූ පළාත්වල අවසරය නොමැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන්වත් වෙනස්‌ කිරීමට නොහැකිවෙන ලෙස ද, අතිබහුතරයක්‌ පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවෙනි මන්ත්‍රී මණ්‌ඩලයක අනුමැතිය නොමැතිව පාර්ලිමේන්තුවට ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන් සම්පාදනය කිරීමට නොහැකිවෙන ලෙසද, විධිවිධාන යෝජනා වී ඇත. එයට අමතරව, මධ්‍යම ආණ්‌ඩුවට යම් නායකත්ව කාර්යභාරයක්‌ ලබාදෙන සමගාමී බලතල ලැයිස්‌තුව අහෝසි කොට එම බලතලද පළාත් සභා වලට පැවරීමටද, මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේද තෝරාගත් කාර්යයන් ක්‍රියාත්මක කිරීම පළාත් සභාවලට පවරා ෆෙඩරල් රාජ්‍යයකට ගැලපෙන ආකාරයට මධ්‍යම ආණ්‌ඩුවේ කාර්යභාර්ය අඩු කිරීමටද මේ යෝජනාවලියෙන් බලාපොරොත්තු වේ.

පළාත් ආණ්‌ඩුකාරවරුන් සතු විධායක බලය අදාළ පළාතේ අමාත්‍ය මණ්‌ඩලයට පවරා ආණ්‌ඩුකාරවරුන් සැමවිටම පළාත් අමාත්‍ය මණ්‌ඩලයේ උපදෙස්‌ අනුව ක්‍රියා කිරීමට නියම කිරීමටත්, මහ ඇමතිවරයාගේ උපදෙස්‌ නොමැතිව ආණ්‌ඩුකාරවරයකුට යම් පළාතක හදිසි තත්ත්වයක්‌ පවතින බවවත් මධ්‍යම ආණ්‌ඩුවට දැනුම් දීමට නොහැකි යෑයි නියම කිරීමටත් මේ යෝජනාවලියේ විධිවිධාන ඇත. එපමණක්‌ද නොව, පළාත් සභාවක්‌ විසින් සම්මත කරන ප්‍රඥප්තියකට අනුමැතිය දීමට හෝ එහි ව්‍යවස්‌ථානුකූල භාවය විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට ආණ්‌ඩුකාරවරයාට හා ජනාධිපතිවරයාට දී ඇති කාලය සති දෙකකට සීමා කර එම කාලය ඉකුත් වීමත් සමඟම, නිරායාසයෙන්ම එම ප්‍රඥප්තියට අනුමැතිය ලැබී ඇත්තාසේ සැලකීම තුළින්ද මධ්‍යම ආණ්‌ඩුවට පළාත් ඒකක පාලනය කිරීමට ඇති බලතල බරපතළ ලෙස කප්පාදු කිරීමට යෝජනා වී ඇත. දැනට ලංකාවේ ක්‍රියාත්මක බලතල බෙදීමේ ආකෘතිය ඉන්දියාවෙන් ලබාගත් එකකි. ඉන්දීය ව්‍යවස්‌ථාවේ 201 වගන්තියට අනුව ප්‍රාන්ත ආණ්‌ඩු සම්මත කරන ඕනෑම පනතක්‌ කිසිදු හේතු දැක්‌වීමකින් තොරව ප්‍රතික්‌ෂේප කිරීමට එරටේ ජනාධිපතිවරයාට බලය ඇත. නමුත් අපේ රටේ ජනාධිපතිවරයාට එවැනි බලයක්‌ කිසිදාක නොතිබුණි. එම නිසා පළාත් සම්බන්ධයෙන් විධායකයට තිබෙන බලතල තවත් අඩුකිරීමට මේ ඉදිරිපත් කර ඇති යෝජනාවලට අපට එකඟ විය නොහැක.

වත්මන් ව්‍යවස්‌ථාවේ විධිවිධාන හා අදාළ ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දු යටතේ ජනාධිපතිවරයාට හා මධ්‍යම රජයට ඉඩම් සම්බන්ධයෙන් ඇති බලතල පළාත් ඒකකවලට පැවරීමට යෝජනා වී ඇත. මේ අනුව යම් පළාතක්‌ තුළ පිහිටි රජයේ ඉඩමක්‌ මධ්‍යම රජයේ කටයුත්තකට ලබා දෙන මෙන් කරන ඉල්ලීමක්‌ අදාළ පළාත් සභාව ප්‍රතික්‌ෂේප කළහොත්, එම හබය මුලින්ම බේරුම්කාර මණ්‌ඩලයකට හා ඉන්පසු අධිකරණයට යොමු කිරීම හරුණු විට වෙන විකල්පයක්‌ මධ්‍යම ආණ්‌ඩුවට නැත. ඉන්දියාවේ මධ්‍යම රජයේ කටයුත්තකට අවශ්‍ය ඉඩමක්‌ ඔවුන්ට එම ඉඩම පිහිටි ප්‍රාන්තයේ කැමැත්ත ඇතුව හෝ නැතුව ලබාගැනීමට බලය ඇත. එම නිසා ලංකාවේ දැනට පවතින ඉඩම් සම්බන්ධ විධිවිධාන වල කිසිදු වෙනසක්‌ නොවිය යුතුය.

සාමාජිකයන් 55 න් 45 දෙනකු පළාත් සභාවල නියෝජිතයන් වන පාර්ලිමේන්තුවේ දෙවන මන්ත්‍රී මණ්‌ඩලයක්‌ පිහිටුවීමට යෝජනා වී ඇත. මේ දෙවන මන්ත්‍රී මණ්‌ඩලයේ 2/3 ඡන්දයක්‌ නොමැතිව කිසිම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සම්මත නොවිය යුතු බව කියෑවෙන නිසා මෙහි පරමාර්ථය රටේ නීති හා ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය සීමා කර, එවැනි කාරණා සම්බන්ධයෙන් නිෂේධ බලයක්‌ පළාත් සභාවලට ලබා දීම බව පෙනේ. ඉන්දීය ව්‍යවස්‌ථාවේ 249 වගන්තියට අනුව ඉන්දීය දෙවෙනි මන්ත්‍රී මණ්‌ඩලයේ පමණක්‌ 2/3 බලයෙන් සම්මත වෙන යෝජනාවකින් මුළු ඉන්දියාවේම නැතිනම් එහි ප්‍රාන්තයක හෝ ප්‍රාන්ත කිහිපයක සියලු පාලන බලතල පාර්ලිමේන්තුවට පැවරීමටත්, වසරක්‌ පාසා කරන අලුත් කීරීම්වලට යටත්ව ඕනෑම කාලයක්‌ පවත්වාගෙන යැමටත් බලය පැවරේ. මේ ප්‍රතිපාදනය ඉන්දියාවේ ඒකාග්‍රතාවය සුරකින ප්‍රධානම නීතිමය විධිවිධානයකි. ඉන්දීය ව්‍යවස්‌ථාවේ 249 වගන්තියට සමාන බලතල නොමැතිනම්, දෙවෙනි මන්ත්‍රී මණ්‌ඩලයක්‌ ලංකාවේ පිහිටවිය යුතු නැති බව අපේ අදහස වේ.

සියලුම සුළු කණ්‌ඩායම්වලට වැඩි නියෝජනයක්‌ ලබාගැනීමට ඉඩ සලසන සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තේරී පත්වෙන නියෝජිතයන්ගේ ප්‍රතිශතය 40% ක්‌ ලෙස නියම කොට තිබියදීත්, නොයෙක්‌ ජාතිවාදී කණ්‌ඩායම්වල නියෝජනය වැඩි කිරීමට කුඩා මන්ත්‍රී කොට්‌ඨාස හා බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති කිරීමටත්, යුද්ධය හේතුවෙන් පිටරට පදිංචියට ගොස්‌ යුද්ධය අවසන් වූ පසුත් ආපසු නොපැමිණි පුද්ගලයන් අවතැන් වූවන් ලෙස සලකා උතුරු පළාතට පාර්ලිමේන්තුවේ අතිරේක ආසන සංඛ්‍යාවක්‌ වෙන් කිරීමටත් යෝජනා වී ඇත. මේ ආකාරයට ලාංකීය දේශපාලනය තුළ පටු ජතිවාදයට මුල් තැන දීම කිසිසේත්ම පිළිගත නොහැක. සමානුපාතික පදනම මත තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වර්තමානයේදී මෙන් දිස්‌ත්‍රික්‌ක පදනම මත පත් නොවී පළාත් මට්‌ටමින් පත් විය යුතු බවට කර ඇති යෝජනාවද අපට පිළිගත නොහැක.

මීට කලින් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය නිකුත් කළ ලියවිලිවල පොලිස්‌ බලතල ගැන සඳහන් වුවද, එම මාතෘකාව මේ නවතම යෝජනාවලියේ සඳහන් නොවන්නේ, පොලිස්‌ සේවය කොටස්‌ 9කට කැඩීමට අවශ්‍ය විවිධාන 13 වන සංශෝධනය හේතුවෙන් දැනටමත් අපේ ව්‍යවස්‌ථාවේ නවවන පරිෂ්ඨයේ පළමු උපලේඛනයේ සඳහන් වෙන නිසා විය හැක. වර්තමානයේ ජාතික පොලිස්‌ සේවය රට පුරා ක්‍රියාත්මක වෙන ආකාරයටම ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බව අපේ මතයයි. ඒ අනුව වත්මන් ව්‍යවස්‌ථාවේ නවවන පරිශිෂ්ඨයේ පළමු උපලේඛනයද පවතින යථාර්ථය පිළිබිඹු වෙන ලෙස සංශෝධනය විය යුතුය.

ව්‍යවස්‌ථාමය කටයුතු සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ බලය අහෝසි කොට අලූතෙන් ව්‍යවස්‌ථාමය අධිකරණයක්‌ ඇති කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසු අගමැතිවරයාට ඇතැම් ජනාධිපති ලක්‌ෂණ ආරූඪ කිරීම, මැතිවරණයකින් පසු නිශ්චිත කාලයක්‌ යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වෙන ආකාරයට විධිවිධාන සැලසීම, ඇතුළු අපට පිළිගත නොහැකි තවත් යෝජනා ගණනාවක්‌ම මේ ලියවිල්ලේ සඳහන් වුවත්, ඒවා මේ යෝජනාවලියේ ප්‍රධාන පරමාර්ථයට අදාළ නොවෙන නිසා අපි එම කාරණා ගැන මෙහිදී වැඩි අවධානයක්‌ යොමු නොකරමු.

වත්මන් ව්‍යවස්‌ථාවේ බුදු දහමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන 9 වන වගන්තිය වෙනස්‌ කිරීමට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබුණද, එය මේ අවස්‌ථාවේදී මොවුන්ගේ මූලික පරමාර්ථය නොවන බව පැහැදිලිය. ව්‍යවස්‌ථාවේ 9 වෙනි වගන්තියට යෝජනා කර ඇති වෙනස අවසන් මොහොතේ ඉවත් කරගැනීමෙන් මහා සංඝරත්නය නොමඟ යවා රටේ ඒකීය නැතිනම් ‘යුනිටරි භාවය’

රැකගැනීමට කරන සටන මොට කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගනු ඇති බව විචාරකයන්ගේ අදහස වේ. මේ ආකාරයටම යහපාලකයන්ගේ ෆෙඩරල් අභිමතාර්ථයට කිසිදු හානියක්‌ නොකොට බහුතර ජනතාව නොමඟ හැරීම සඳහා අවසන් මොහොතේ ඉවත් කරගත හැකි තවත් යෝජනාවක්‌ වන්නේ, ව්‍යවස්‌ථාවේ 7 වෙනි වගන්තියට ජාතික ගීයේ දෙමළ අනුවාදයද එක්‌ කිරීමේ යෝජනාවයි.

මේ ආකාරයට කේවල් කිරීමක්‌ ලෙස අවසන් මොහොතේ අතහැරිය හැකි යෝජනා ගණනාවක්‌ම මේ යෝජනාවලියට ඇතුළත් කර තිබේ. අපි මේ ගනුදෙනු කරන්නේ නීතිමය හා දේශපාලනමය උප්පරවැට්‌ටි සම්බන්ධයෙන් කෙල පැමිණි පිරිසක්‌ සමඟ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේදී යහපාලකයන්ගේ ඉලක්‌කය වන්නේ බුදුදහමට හෝ, ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව, ශ්‍රී ලංකා රජයේ ව්‍යqහය ඒකීය නැතිනම් ‘යුනිටරි’ පදනමේ සිට ෆෙඩරල් පදනම දක්‌වා වෙනස්‌ කිරීම පමණක්‌ බව අප මෙහිදී වටහාගත යුතුය.

එම නිසා, ජාතිවාදී පදනමක්‌ මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් බලතල පැවරීමත් මේ රටේ කිසිසේතම සිදු නොවිය යුතුය. මා මෙහිදී ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නේ, මේ විනාශකාරී ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ඔවුන් මුලදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක්‌ ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙසය.

දිවයින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here