EPF ලංසු ඉදිරිපත් නොකළ නිසා බැඳුම්කර කාණ්‌ඩයකින් රජයට පාඩුව කෝටි 55 ක්‌

0
25
views

2016.03.29 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් අතිරික්‌ත මුදල් තිබියදී එම මුදල්වලින් ලංසු ඉදිරිපත් නොකළ නිසා එක්‌ බැඳුම්කර කාණ්‌ඩයකින් පමණක්‌ රුපියල් කෝටි 55 ක (රු. මිලියන 550 ක) මුදලක්‌ පාඩුවී ඇති බවට තමා ගණනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහතා ඊයේ (16 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

වෙනත් වචනවලින් කියනවා නම් එදින රජය භාණ්‌ඩාගාර බැඳුම්කර හරහා ණයට ගත් සෑම රු. 100 කින්ම රු. 1.95 කට අධික මුදලක්‌ පාඩුවී ඇති බවත්, එහි මුළු අගය රු. මිලියන 550 ක්‌ ලෙස ගණනය කළ හැකි බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් ෆොන්සේකා මහතා පැවසීය.

එය 2016.03.29 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ එක්‌ බැඳුම්කර කාණ්‌ඩයක්‌ සඳහා ගණනය කළ පාඩුව පමණක්‌ බවද අනෙකුත් බැඳුම්කර කාණ්‌ඩ තුන යටතේද ඒ ආකාරයටම රජයට සිදුවූ අලාභ ගණනය කළ හැකි බවද හෙතෙම කීවේය.

අර්ථසාධක අරමුදල එදින පැවැති තම අතිරික්‌ත අරමුදල්වලින් ලංසු ඉදිරිපත් කළා නම් රජයට රු. 100 ක බැඳුම්කරයක්‌ වෙනුවෙන් රු. 75.05 ක මුදලක්‌ ලැබීමට තිබුණු බවද, එහෙත් ඒ වෙනුවට රජයට සත්‍ය වශයෙන් ලැබුණේ රු. 100 ක බැඳුම්කරයක්‌ වෙනුවෙන් රු. 73.0977 ක මුදලක්‌ පමණක්‌ බවද නිහාල් ෆොන්සේකා මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට පෙන්වා දුන්නේය.

අර්ථසාධක අරමුදල තම අතිරික්‌ත මුදල් මගින් 2016.03.29 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ලංසු ඉදිරිපත් කළා නම් රජයට ණය සපයාගත හැකිව තිබූ පොලී අනුපාතය සහ රජය ණය සපයාගත් පොලී අනුපාතය අතර පරතරයක්‌ පැවතීම මෙයට හේතුව බවද නිහාල් ෆොන්සේකා මහතා මෙහිදී කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන, ඡායාරූපය – නිමල් දයාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here