දෙයියෝ සාක්කි! ගැබිනියගේ දිවි බේරාගත් දොස්තරට එරෙහිව පැමිණිල්ලක්

0
29
views

යතුරුපැදියෙන් ඇදවැටී අනතුරකට ලක්වී රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලට රැගෙන ආ ගැබිනි මවකගේ හා දරුවාගේ ජීවිතය මරණයෙන් බේරා ගැනීමට ගිලන් රථයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ආ වෛද්‍යවරයෙකුට එරෙහිව වහාම විගණනයක් පවත්වන ලෙස ඉල්ලා ගිලන් රථ වෘත්තීය සංගමයේ නිලයක් හොබවන සේවකයෙකු ඊයේ (17) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහ‍ලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රුක් මහතාගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවූවත් රෝහ‍ලේ ගිලන් රථ රියැදුරා නොමැතිව පිටස්තර රියැදුරෙකු මගින් රෝගියා රෝහලට රැගෙන ඒම නිසා කුපිත වූ වෘත්තීය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර තිබුණු බව වාර්තා විය. වෛද්‍යවරයා රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටි බව වාර්තා විය.
සැමියා සමගින් ඊයේ (17) උදෑසන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියෙන් ඇදවැටුණු සති 36 දරු ගැබක් සහිත තරුණ මව රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ කුස තුළ සිටින දරුවාගේ හෘද ස්පන්ධනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳව වෛද්‍යවරයා දැඩි අවධානය යොමුකර ඇත.
මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙනයා යුතු බව වෛද්‍යවරයා තීරණය කළත් ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබිම නිසා රථය පැදවීමට රියැදුරෙකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටලුවකට මුහුණ දී තිබුණි. වහාම ඒ පිළිබඳව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියැදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙන ඒමට කටයුතු කර තිබුණි.
පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇගේ සහායිකාව රිය සහයක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැගී විදුලි වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී රෝහ‍ලේ කිසියම් සේවකයෙකු නිවාඩු ලැබූ ගිලන් රථයේ රියැදුරාට වෛද්‍යවරයා රෝගියෙකු සමග වෙනත් රියැදුරෙකු සමග අනුරාධපුර රෝහලට පැමිණි බව පවසා ඇති අතර ඉන් කිපුණු ගිලන් රථ රියැදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයා දන්වා තිබේ.
ඔහු ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්දයෙන් ලැබුණු පැමිණිලිමත ප්‍රශ්න කර තිබුණි.

බුද්ධික මහේෂ් විජේසූරිය – අනුරාධපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here