නුවර අධි වේගයට – කිරිඇල්ල දයාසිරි හැප්පෙති

0
151
views

මේ සතියේ සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාරයක නිරතව සිටි නිසා ඔහු කැබිනට් මණ්ඩලයට පැමිණ සිටියේ නැත. සුපුරුදු පරිදි කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ගන්නා අතරවාරයේදී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ කැබිනට් රැස්වීම උණුසුම් කළේය. නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා උපදේශකයෙක් පත් කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්වී තිබුණි.

“නුවර අධිවේගී මාර්ගය හදන්න මේ තරම් ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ ඇයි? අපි මුදල් වෙන් කරන විට ප්‍රමුඛතාවයන් හඳුනාගන්න ඕන. මේ අධිවේගී මාර්ගය හදන්න යන එක ලංකාවේ ණය ගැනීමේ සීමාවට බලපාන්නේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. මේ දැන් ගන්න හදන්නේ වානිජ ණයක්” චම්පික කිරිඇල්ලගේ කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූවේය.

දයාසිරි ජයසේකර ඇමැතිවරයාද කිරිඇල්ලගේ කැබිනට් පත්‍රිකාවට විරුද්ධව අදහස් දක්වන්න විය.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී අධිවේගී මාර්ග හැදුවා. ඒත් කිලෝමීටර එකසිය හැත්තෑවක් විතරයි ඒ කාලයේදී හැදුවේ. දැන් මේ ආණ්ඩුවෙන් කිලෝමීටර එකසිය අනූවකට වැඩි දුරක් හදන්න මුල් ගල් තියලා. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය කිලෝමීටර අනූහයක් වෙනවා. මීරිගම සිට කුරුණෑගලට කිලෝමීටර තිස්පහයි. කඩවත මීරිගම කොටස කිලෝමීටර තිස් හයයි. පිටත වටරවුම් මාර්ගය කිලෝමීටර 9.6ක දුරක් තියෙනවා. මේවා හදන්න මුලින් ඩොලර් මිලියන එකසිය තුනක් වැය කරන්න තිබුණේ. ඒත් පස්සේ මේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන එකසිය හතළිහකට ඉහළ ගියා. දැන් ඒක අඩු කරලා තියෙන්නේ ඩොලර් මිලියන එකසිය විසි තුනකටයි” දයාසිරි කිරිඇල්ලට විරෝධය දැක්වූයේ සංඛ්‍යා‍ලේඛනද ඉදිරිපත් කරමිනි.
දයාසිරිගේ යෝජනාව වූයේ කුරුණෑගල සිට නුවර දක්වා සාමාන්‍ය මාර්ගය පුළුල් කර සංවර්ධනය කළ යුතු බවය.“මේ දේවල් කරනවා නම් හරියට කරන්න ඕන” රාජිත සේනාරත්න ඇමැතිවරයාත් කතාවට මැදිහත් විය.“දෙමටගොඩ ඉඳලා ලෝලෙවල් එක පුළුල් කරන්න යන්නේ ඩොලර් මිලියන දහයක් විතරයි. කොළඹ වාහන තදබදය අඩු කරන්න නම් ඒ පාර හදන්න ඕන. ඒවට සල්ලි දෙන්නේ නෑ. ඒත් නුවර හයිවේ එකක් හදනවා. මේක 2020 වන විට හදලා ඉවර කරන්න බෑ. මේවා එක්ක කිසිම දේශපාලන වැඩසටහනක් නෑ” දයාසිරි වේගවත්ව කියන විට කිරිඇල්ලත් නැගී සිටියේය.

“නුවර අධිවේගී මාර්ගය හදන එක අවශ්‍ය දෙයක්. ගියපාර ජනාධිපතිවරණයේදී අපි මහනුවර ජයගත්තා. දයාසිරිලා ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කළේ. අමරවීරලා ජනාධිපතිතුමාට විරුද්ධව තමයි වැඩ කළේ. ඒ අයට ආණ්ඩුව ගැන කැක්කුමක් නෑ. අපි තමයි දිනුවේ. ඡන්දයේදී දුන්න ‍පොරොන්දු මොනවාද කියලා අපි තමයි දන්නේ. ඒවා දන්නේ නැති අය ඇවිත් දැන් මෙතැන කෑ ගහනවා. මේ අය කවුරුවත් ජනවාරි අට වෙනිදා කැම්පේන් එකේ හිටියේ නෑ” කිරිඇල්ලත් කීවේ තරමක ආවේගයෙන් යුතුවය.“දිනුවද පැරදුනාද කියන එක නමෛයි මෙතැන තියෙන වැඩේ රට ගැන හිතලයි අපි මෙතැන මේ කතා කරන්නේ” දයාසිරිත් කතාව අතහැරියේ නැත.“අපි කියන දේ අහගෙන ඉන්නේ නැති නම් අපි ආණ්ඩුවේ ඉන්න එකේ වැඩක් නැහැනේ. එහෙමනම් අපි ආණ්ඩුවෙන් යන්නම් ඔයාලා කරගෙන යන්න” මහින්ද අමරවීර ඇමැතිවරයාත් දයාසිරිගේ සහයට ඉදිරිපත් විය.
“ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් ඒව අපිට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්න ඕන” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාත් කතාවට එක්විය.“මේවා දෙපැත්තට ඇදගෙන යන්න ඕන නැහැ. දෙයක් කරනවානම් අපි ඒක කරන්න ඕන” රවුෆ් හකීම් ඇමැතිවරයා පෙනී සිටියේ කිරිඇල්ලගේ පැත්තටය.

“අපි අගමැතිතුමා ආවම එතුමත් එක්කත් කතා කරලා මේ ගැන තීරණයක් ගනිමු”මෛත්‍රී දෙපිරිස අතර ගැටුම සමථයකට පත් කිරීමට කීවේය.
“මේ ව්‍යාපෘති අපි පටන් ගනිපු ව්‍යාපෘති. මේවා අතරමග නතර කරන්න බෑ. මේවා නතර කළාම අපි මොනවද කළේ කියලා මිනිස්සු අපෙන් අහනවා” සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් කතා කළේය.“අපි ශක්‍යතා අධ්‍යයනය කටයුතු කරගෙන යමු. ඉදිරියේදී මොකද කරන්නේ කියලා අපි සාකච්ඡා කරමු” මෛත්‍රී අවසානයේදී කතාවට තිත තැබුවේය.

තිලකජය – ලක්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here