වැලිකඩ රැඳවියන් ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

0
40
views

නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේදී ආරක්ෂක හමුදාව සිදු කළ මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කැර ඇති බව නීතිපතිවරයා ඊයේ (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මේ වන විට එම විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුවඑම පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කෙළේය. එම පරීක්ෂණ වල ප්‍රගතිය සලකා බැලීම සඳහා එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම දෙසැම්බර් මස 06 වැනිදා කැඳවීමට තීරණය කෙරිණි.

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේදී ආරක්ෂක හමුදාව සිදු කරන ලද මෙහෙයුමේදී රැඳවියන් 27ක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කෙළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේදී ආරක්ෂක හමුදාව සිදු කළ මෙහෙයුමේදී සිරකරුවන් 27ක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු බව කියන සුදේශ් නන්දිමාල් සිල්වා විසිනි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීමේ සහ හින්දු කටයුතු පිළිබඳ ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වූහ.

2012 වසරේදී සෝදිසි මෙහෙයුමක් සඳහා පැමිණි බව කියමින් ත්‍රස්ත විමර්ශන ඒකකයෙහි සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයට පිවිසීමට උත්සහ කළ බව පෙත්සමෙහි සඳහන් විය. ඊට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන බව තමාට අසන්නට ලැබුණු බව පෙත්සම්කරු සඳහන් කර ඇත. 2012 වසරේ නොවැම්බර් මස 09 හෝ 10 දින සිදු වූ එම සිදුවීමට විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ සාමාජිකයන් සහභාගී වූ අතර ඇතැම් රැඳවියන් විශේෂයෙන් තෝරාගෙන පහරදී වෙඩි තබා මරා දමනු තමා සියැසින් දුටු බව පෙත්සම්කරු කියයි.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීම් මෙතෙක් ඉටු නොවූ බව පවසමින් පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර ඇත. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. නීතිඥ කේ.එස්. රත්නවේල් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර – දිනමිණ

පසු සටහන

මෙම ඝාතනය සම්බන්දයෙන් මාධ්‍යවේදි කසුන් පුස්සෙවෙල විසින් රචිත “12 11 10 වැලිකඩ” ග්‍රන්ථය පසුගිය සැප්තැම්බර් මස 15 වන දින එලි දුටු අතර මෙම සිදුවීමට අදාල බොහෝ කරුණු එම ග්‍රන්ථයේ අන්තර්ගතවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here