සිරි ගුනසිංහ බැලීමට ගොස් රිදී තිරයෙන් මතුවූ ස්වර්ණා

0
20
views

පාසල් යුවතියන් දෙදෙනෙක් අතින් ලියන ලද සඟරාවකට ලිපි තෝරමින් සිටියහ. ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගනිමින් සිටි මේ දෙදෙනා සිසුන් විසින් එවන කෙටි කතා, කවි, රචනා අවුස්සා බලමින් අසීමිත ප්‍රීතියක් ලැබූහ.

මේ 1964 වසරය. කොළඹ 14, ග්‍රෑන්ඞ්පාස් කොස්ගස්හන්දියේ ස්ටේස් පාරට හැරෙන තැන වම් පැත්තේ බස් නැවතුම් පොළ අසළ පිහිටි විජයබා මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිදුවීමකි මේ. ඔවුන් සංස්කරණය කළ සඟරාවේ නම “පිපෙන කුමුදු” ය. ස්වර්ණා මල්ලවආරච්චි සහ කාන්ති කල්‍යාණි අටුගොඩ මෙහි සංස්කාරකවරියෝය. එකළ පළ වූ “රසවාහිනිය”, “නව යුගය”, “දැනුම” සඟරා නොතිත් ආසාවකින් කියවූ මේ දෙදෙනා අතින් ලියන ලද සඟරාවක් සකස් කිරීමට සිහින මවමින් සිටියෝය.

“ අතින් ලියන සඟරාවක් හදන එක හොඳයි. හැබැයි විභාගය ගැණත් මීට වැඩිය උනන්දුව දක්වන්න ඕනෑ.” ඉංග්‍රීසි භාෂාව උගන්වන වජිරා බාලසූරිය ගුරු මහත්මිය දිනක් කීවාය. (ප්‍රකට ගුවන් විදුලි ගායිකාවක සිටි ඇයගේ පුත්‍රයෙකි. විශේෂඥ අක්ෂි වෛද්‍ය දුෂ්ශ්‍යන්ත වාරියපොල.)

ස්වර්ණා හා කාන්ති සංස්කරණය කළ “පිපෙන කුමුදු” සඟරාවට ලිපි ලියූ පන්ති සිසුවියන් වූයේ යසවතී. ඉන්ද්‍රා, මර්සි, ඥාණසෞන්දරී, රත්නමාලි, කමලා, තිලකා, රම්‍යා, මොනිකා, පියසීලි, සහබන්දු, බන්දුල පියදාස ආදීහුය. එමෙන්ම උසස් පෙළ පන්තියේ සිටි තුංගසේන, ප්‍රේමරත්න ප්‍රේමසිරි පෙරේරා (හිටපු පළාත් සභා මන්ත්‍රී) මේ සඟරාවට ලිපි ලියූ අතර මේ තිදෙනාම මේ විද්‍යාලයේ ඉගෙන කොළඹ ලංකා විශ්ව විද්‍යාලයට ගිය මුල්ම ශිෂ්‍යයෝ වූහ. සිංහල විෂයය ඉගැන් වූ ධර්ම ශ්‍රී දහනායක මහතා (එකල ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියෙකි.) හා ඉතිහාසය උගැන්වූ ඇඞ්වින් රණවක මහතා (ප්‍රකට ගත්කරු) සඟරාවේ උපදේශකත්වය දැරූහ.

“ස්වර්ණා අනාගතේ හොඳ පත්‍රකලාවේදිනියක් වේවි.” දහනායක මහතා අනාවැකියක් පළ කළා පමණක් නොව ගුවන් විදුලි ළමා රංග පීඨයේ පරීක්ෂණයට ඉදිරිපත් වන්නයි ස්වර්ණා උනන්දු කළේය.

සඟරාව පාසලේ ළමුන් අතර ජනප්‍රිය වුණා ද යත් එය අතින් අතට ගොස් උප විදුහල්පති නිශ්ශංක මහතා එය විදුහල්පති කේ.පී. වික්‍රමආරච්චි මහතාට පෙන්නුවේය. සති අග රැස්වීමේ දී එයට විශේෂ අගය කිරීමක් ද සිදුවිය.
පසු කලෙක ලාංකේය සිනමවේ විකල්ප නිළි රූපණය ප්‍රාරම්බ කළ පළමු ප්‍රති කථානායිකාව වූ ඒ. ස්වර්ණා නම් රංගවේදිනිය ජාත්‍යන්තර සිනමාවේ සම්භාවනාවට පත් නිළියක් වූවාය. එදා ඇය හා සම සංස්කරණය වූ කාන්ති කල්‍යාණි පසුව විශාඛ විද්‍යාලයට ගොස් එතැනින් කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා විශාඛාවේම ආචාර්යවරියක් වූවාය. ස්වර්ණා හා පුරාකියා පාසල් සාහිත්‍ය සමිතියේ නන්දා මාලිනී ගැයූ “බුදු සාධු මම සමන් මලක් වෙන්නම්” ගීතය කොතරම් හොඳින් ගැයුවා ද යත් හැම සිකුරාදාවකම ඇයට ගීතයක් ගැයීමේ අවස්ථාව ලැබුණු බව එදා ශිෂ්‍ය සමිතියේ සභාපතිව සිටි ඇම්.ඩී. ප්‍රේමරත්නට තවම මතකය.

ස්වර්ණා කුඩා කළ සිටම පොත පත කියවීමට, ගීත ගායනයට, චිත්‍රපට බැලීමට ඇලුම් කළාය. ඇගේ ප්‍රියතම වීරයන් වූයේ නළු නිළියන් නොව, ලේඛකයන් බව මම හොඳාකාරව දනිමි. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, මහගමසේකර, කේ. ජයතිලක, ජී.බී. සේනානායක, මඩවල රත්නායක ඇගේ ප්‍රියතම ලේඛකයෝ වූහ. එකල නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය ගැන අපට උනන්දුවක් තිබූ අතර ස්වර්ණාට ඇතැම් කවි කට පාඩමින් කීමට දැන සිටියාය.

ඇය සමඟ විජයබා මහා විද්‍යාලයේ ඉගෙනීම නොකළත් ඇගේ නිවස තිබුණේ මගේ නිවසට යාබද නිසා එදා තිබූ අපේ පුංචි මිතුරු හවුලට ඇය මෙන්ම කාන්ති, මර්සි, ඉන්ද්‍රා ද ඇතුළත් වූහ. අපි විභාගයට පාඩම් කළේ එකිනෙකාගේ නිවෙස්වලය. ඇතැම් හවසක පාඩම් කරන අතර තුර අපිට ලැබෙන විරාමයක දී අපට කඩපාඩම් නිසදැස් කවි කීවෙමු. ස්වර්ණ ඒවා ආරම්භ කරන්නේ සිරි ගුණසිංහගේ “මස් ලේ නැති ඇට” කාව්‍ය සංග්‍රහයේ එන මේ කවියෙනි. ඇය එය භාවාත්මකව ගායනා කරන්නීය.

“අඳුර සුනු විසුනු කර ඊයෙ වගෙ ඇය තවමත් නොනගින්නේ මගෙ දෛනික ඇස් රුදාව නද දෙවමින් මදුරු රෑනෙ ගොලුබෙලි කටුවක තුළ මෙන් අඳුර පෙරට ගෙන හිටියේ ගලා වැටෙන තෙක්ම තමයි දෙවෙනි දවස”

අපි එකිනෙකට කට පාඩම් නිසදැස් කියන්නෙමු. සැබැවින්ම එය පුංචි සරසවි මණ්ඩපයකි.

ස්වර්ණා කුඩා කළ සිටම තමාටම ආවේණික වූ ජීවන රටාවකට පුරුදු වූ යුවතියක් වූවාය. පරාජය වීමට කැමැති අය පොදු ප්‍රශ්නවල දී අයුක්තියට එරෙහි වූ වාමවාදී අදහස් වලින් පෝෂණය ලැබූ ඉහවහා ගිය මානව දයාවකින් යුතු චරිතයක් වූවාය. ඇය පළාතේ සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට නොපැකිළිව ඉදිරිපත් වූවාය. දැනට ගල්කිස්සේ පදිංචිව සිටින වජිරා බාලසූරිය ගුරු මහත්මිය මට පැවසුවේ ඇය දක්ෂ, එඩිතර, දඟකාර සිසුවියක්ව සිටි බවය. තමා ඇයගේ රංගන කුසලතාව අගය කරන බව ද කීවාය.

මැද කොළඹ ප්‍රධාන කොමියුනිස්ට් නායකයා වූ පීටර් කේනමන් සහෝදරයාගේ ආධාරකාරිණියක වන්නේ ඇයට ඡන්ද බලයවත් නැති සන්දියේ සිටය. එක්තරා කොළඹ නාගරික මැතිවරණයක දී ග්‍රෑන්ඞ්පාස් උතුර කොට්ඨාසයට යූ.ඇන්.පී. පතාක යෝධයකු, ව්‍යාපාරිකයකු වූ පලීල් කෆූර්ට එරෙහිව කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළ එච්. අබේවර්ධන (ඔහු වඩාත් ප්‍රකට අබේසේන නමිනි) වෙනුවෙන් ඇප කැප වී ප්‍රචාරක කටයුතු කළ ආකාරය මට මතකය. එවකට අපි දහඅට හැවිරිදි වියේ පසුවීමු. 1964 වසරේ පැවැති මේ මැතිවරණයේදී ස්වර්ණා, ටී.එම්. සංඝදාස, (හිටපු නාගරික මන්ත්‍රී, කලාකරු), ප්‍රේමසිරි පෙරේරා (හිටපු පළාත් සභා මන්ත්‍රී) සමඟ කර කරට එක්වී දේශපාලනයේ යෙදුණාය. එපමණක් නොව තම පක්ෂයේ ජ්‍යෙෂ්ට ක්‍රියාකාරකයෙක් වූ ඇන්.ඇල්. පෙරේරා, කේ.පී. සිල්වා, එල්.ඩබ්ලිව්. පණ්ඩිත, ඩබ්ලිව්.ඒ. නෝමිස්. අර්නෝලිස් අප්පුහාමි. ඇල්බට් පෙරේරා, සමග ස්වර්ණ, සංඝදාස ප්‍රේමසිරි කැන්වසින් ගිය හැටිත්, මැයි දිනයේ රතු පාට පැහැයෙන් සැරසී පෙළපාලියේ ගිය අයුරු ද මට මතකය.

මැතිවරණ උණුසුමින් පසු අප සුපුරුදු ලෙස ඉගෙනීමේ යෙදුනෙමු. අපට ඉඳහිට වේදිකා නාට්‍යයක්, හොඳ චිත්‍රපටයක් නැරඹීමට ගෙවල්වලින් අවසරය ලැබී තිබුණේ සාමාන්‍ය පෙළ පන්තියෙන් උසස් ප්‍රතිඵල දක්වා තිබූ නිසාය. මේ අනුව මනමේ, මූදුපුත්තු, සිංහබාහු. මෙන්ම සිකුරුතරුව, ගම්පෙරළිය, සාරවිට චිත්‍රපට ද “සුජාතා”, “බන්දිනී” යන හින්දි චිත්‍රපට නැරඹීමට ගියෙමු.

“ස්වර්ණා, හරියට නූටාන් වගේ යයි” බන්දනි නැරඹූදා ඉන්ද්‍රා ඇයට කීවාය.

පද්ම හර්ස කුරණගේ “රුසියන් කෙටි කතා” මුල්වරට නිකුත් වූයේ ඒ දිනවලය. එහි මිල රු. 2 යි. ශත 50 කි. අපේ මිතුරියන් හතර දෙනා රුපියල් 2ක් එකතු කොට ස්වර්ණා එය මා අතට දී “ඉතුරු ශත පනහයි, බස් ගාස්තුවයි උඹේ අතින්.” යයි කියා මා අතට දුන්නාය. මා පොත රැගෙන ආ දින “මම යි ඉස්සෙල්ලාම කියවන්නේ” යි ඒ පොත දඟකාර ලෙස උදුරා ගත් ස්වර්ණා අතුරුදන් වූවාය. මගේ අමරසේකර ලියූ “ගන්ධබ්බ අපදානය” නවකතාවට සිදුවූයේ ද ඒ අතුරුදන් වීමය. නැවත එය අපට ඇය ගෙනවිත් දෙන්නේ තලු මර මරා එය අගය කරමින්.

“රුසියන් කෙටිකතා පොත කියවූ අපි සැවෝම රුසියන් සාහිත්‍යය ගැනත් චෙකෝෆ්, ටෝල්ස්ටෝයි, ටර්ගිනෆ් ගොගොල් ආදීන්ගේ කෙටිකතා ගැන සමාලෝචනයක යෙදුණෙමු. අප සැමගේ කැමැතිම කතාව වූයේ චෙකෝෆ්ගේ “බල්ලා කැටුව යන කාන්තාව” ය. ඒ කෙටිකතාව පසුබිම් කොට තැනුණ රුසියන් චිත්‍රපටය නැරඹීමට කොළඹ විශ්විවිද්‍යාලයේ කලාගාරයට අප ගිය දවස ද අමතක නොවන්නකි. මිතුරු සමාජයේ උපන් දිනයක් තිබුණේ නම් එදිනට කොස්ගස්හන්දියේ “අම්බාල් කැෆේ” එකේ සවස 5 ට පමණ බඳින ලද උණු උණු උළුදු වඬේ, කට දන රෝස පැහැති සම්බෝලය සමග අප කන්නේ ඒවා ගෙනෙන ලද කෙසෙල් කොළය වටා පොදි ගැසෙමිනි. ඊට පසු උණු උණු ඉඟුරු සහිත ප්ලේන්ටි වලින් දැවිල්ල නිවී ගිය පසු උපන් දිනය සමරන අයට අප සල්ලි දී ගත් පොතක අත්සන් තබා එය පිළිගන්වා සිප ගනිමු.

ඉන්පසු ඇරඹෙන්නේ සංගීත සාදයයි. ස්වර්ණා ඒ කාලයේ නැරඹූ “හඳපාන” චිත්‍රපටයේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගැයූ “ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි” ගීතයෙන් සංගීත සැඳෑව ආරම්භ කරන්නීය. ඊළඟට එන්නේ සෙසු හතර දෙනාගේ වාරයයි.

චිත්‍රපට නිළියක් වීමේ ආසාවක් ඇය තුළ නොතිබුණ බව මම හොඳාකාරවම දනිමි. වරක් අප නිවසට පැමිණි පවුලේ හිතවතෙකු වූ ධර්ම ශ්‍රී කල්දේරා (ඔහු හා පුරා කියා අධ්‍යක්ෂණය කිරීමට සැළසුම් කොට තිබුණි.) පැමිණ සිටියේය. මේ අතර පාසල් ඇඳුමින් සැරසුන ස්වර්ණා කාන්ති සමග අප නිවසට පැමිණියේ මගෙන් කිසියම් පොතක් ඉල්ලා ගැනීමටය. කල්දේරාගේ නෙත ස්වර්ණා වෙත යොමු විය.

“ඔයා කැමැති නැද්ද චිත්‍රපටයක රඟපාන්න?”

“අනේ නෑ මාමේ. මම කැමැති චිත්‍රපට බලන්න විතරයි.”

“මේක කලාත්මක චිත්‍රපටයක් ළමයෝ. ගාමිණී ෆොන්සේකයි, අනුලා කරුණාතිලකයි, ෂෙල්ටන් සිල්වා එක්ක රඟපාන්න තියෙන්නේ. ඔයාටම ගැලපෙන චරිතයක් තියෙනවා.”

“මම රඟපාන්න සතුටු නෑ. අපිට නිළියකට ඕනෑ කරන ප්‍රතිරූපයක් නැහැනේ.”

“ඔය ප්‍රතිරූපෙ හොඳටම ඇති. මේ ළමයට හොඳ නිළියක් වෙන්න තියෙන ලකුණු මට පේනවා. බලන්න මම බොරු ද කියන්නෙ කියලා.” කල්දේරා අනාවැකියක් කීවේය.

1965 වසරේ “සීතල වතුර” නම් ඒ චිත්‍රපටයේ රඟපෑමට ස්වර්ණා කැමැති වුණා නම් එය ඇගේ මුල්ම චිත්‍රපටය වනු ඇති.

එදා මිත්‍ර පිරිස පාඩම් කරමින් සිටින අවස්ථාවේ අපේ ජනප්‍රිය සිනමා පුවත්පත වූ “විසිතුරු” ද රැගෙන මා පැමිණියේ මදක් ප්‍රමාද වීය.

“ඔන්න, ඔයාගේ ප්‍රියතම ලේඛකයා සිරි ගුණසිංහව බලා ගන්න චාන්ස් එකක් තියෙනවා.” මම කීවෙමි.
“බොරු? කොහේද? පේරාදෙණියෙ ද?”

ණය කරන මුල්ම චිත්‍රපටයට නිළියක් ඕනෑ කියලා.”

“මම මේකට ඉල්ලනවා. රඟපාන්න නෙවෙයි සිරි ගුණසිංහ බලන්න.” ස්වර්ණා කීවේ සුපුරුදු සිනාව මුවට නඟා ගනිමිනි.

“ඔයා කරන ඔය වැඩෙන්, නිළියක් හැටියට වරම් ලැබෙන්න පුළුවන්. අපිට සිරි ගුණසිංහ බලා ගන්නත් පුළුවන්.” මම කීවෙමි.

පරීක්ෂණයට එන ලෙස දන්වා පිළිතුරක් ලැබිණ. ඇය තම යෙහෙළියක් වූ කමලා සමග කොළඹ 07, වෝඞ් පෙදෙසේ දොස්තර ලීනස් දිසානායකගේ නිවසේ පැවැති නිවසට ගියාය. එදා සිදු වූ පුදුමය නම් එතැන සිටි සියලු ඇයදුම්කාරියන් පරදා කොස්ගස්හන්දියේ ඇපේ මිතුරිය මුල් තැන ලැබීමය. එදා අපට පත්තර පින්තූරවලින් පමණක් දැක තිබූ ජගත් කීර්තියට හා සම්මන දිනූ නිහාල්සිංහයන් ජීවමානව දැකගන්න ලැබිණි.

සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූ “සත් සමුදුර” ට ස්වර්ණා එක් වූයේ එසේය. මේ වන විට ඇය බොරැල්ලේ කිංසි පාරේ පිහිටි යසෝධරා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියාය. මෙරට කලාත්මක ධාරාවේ සිනමා කෘති රැසකට ස්වර්ණාගේ දායකත්වය ලැබිණ. ඒ සඳහා සම්මාන පිට සම්මාන ලැබිණ. ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූහ.

ඒ.ඩී. රන්ජිත් කුමාර – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here