දෙයියෝ සාක්කි! රාජ්‍ය සම්මාන ලැබූ කිරිගවයින් හොර පාරෙන් මස්‌ කඩයට

0
18
views

පශු සම්පත් අමාත්‍යාංශය මඟින් බස්‌නාහිර පළාතේ හොඳම ඉන්දීය කිරි ගවයා ලෙස ප්‍රථම ස්‌ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් මැණිකා නමැති කිරිගවයා සහ රාජ්‍ය සම්මාන ලැබූ කිරිගවයන් තිදෙනකු ඇතුළු කිරිගවයන් 09 දෙනකු දිවුලපිටිය ඇත්ගාලවත්තේදී හොර හරක්‌ ජාවාරම්කරුවන් විසින් මස්‌ කිරීම සඳහා හොරාගෙන ඇතැයි කියමින් ඇත්ගාලවත්ත කුඩගම්මන ගම්වාසීහු මහත් කම්පනයට පත්ව ඇත.

පශු සම්පත් අමාත්‍යාංශය මඟින් 2007 වසරේදී හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස දිවුලපිටිය ආසනයේ ප්‍රථම ස්‌ථානය රාජ්‍ය සම්මානය දිනාගත් කළු මැණිකා නමැති කිරිගවයා ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස ප්‍රථම ස්‌ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් චූධී නමැති කිරිගවයා ද එම ගවයන් සමඟ ගාලේ සිටි ගැබ්බර කිරිගවයන් ඇතුළු කිරිගවයන් 09 දෙනකු මස්‌ කිරීමට ලොරියක පටවාගෙන ගොස්‌ ඇතැයි ද ගම්වාසීහු කියති.

දිවුලපිටිය ඇත්ගාලවත්ත කුඩගම්මන පදිංචි එම ගවයන් භාරව සිටි පී. චන්ද්‍රකාන්ති මහත්මිය සහ ඇයගේ සැමියා වන බුද්ධික පුෂ්පකුමාර යන දෙදෙනා සිද්ධිය ගැන මෙසේ හැඬූ කඳුළින් කීවේය.

ගවයෝ හොරකම් කරලා තිබෙන ලොරිය ගිය පාරේ ටයර් ලකුණුත් තියෙනවා. කරපටි කපා විසිකරලා තිබුණා. බල්ල බිරුවෙත් නෑ එදා. කළුමැණිකා වැඩිම කිරිදෙන කිරි හරකා ලෙස රාජ්‍ය සම්මාන දිනාගත්තා. මේ තියෙන්නේ ඒ සම්මාන. එක කිරි හරකෙක්‌ ලක්‌ෂ 4 ක්‌ විතර වටිනවා. අපි පාන්දරම 119 අමතලා පොලිසියට කීවා. 119 න් කීවා උදේ 8.00 ට කතා කරන්න කියලා. පොලිසිය ඒ වෙලාවෙම ආවා නම් පාරවල් වටකරලා ලොරිය අල්ලගන්න තිබුණා. කොටදෙණියාව පොලිසිය පාන්දර 4.00 ට ඇවිත් මේක දිවුලපිටිය පොලිසියට අයිතියි කීවා. දිවුලපිටිය පොලිසිය ඇවිත් ස්‌ථානය පරීක්‌ෂා කරල හෝඩුවාවක්‌ තියෙනවා නම් දන්වන්න කීවා.

මෙතැන රාජ්‍ය සම්මාන ලැබූ කිරි ගවයන් 3 ක්‌ ඇතුළු කිරි ගවයන් 9 ක්‌ හොරාගෙන ගිහින්. ඉන් එකෙක්‌ ආපහු පැනලා ආවා. ඌ පාන්දර ආපහු ඇවිත් කෑගැහුවා. ඉතුරු වුණේ එයා විතරයි. එයාගේ නම සිඟිති. සිඟිතිගේ පැටියවත් මේ හොරු අරන් ගිහින්. පැටියා නැති සොවින් සිඟිතිගෙන් කිරි වෑහෙනවා. යනයන කෙනාගේ මුහුණ දිහා බලබලා ඌ අඬනවා. අනේ මේ හොරු අල්ලල දෙන්න. ජා ඇල, තිහාරිය පැත්තට හෝ කුලියාපිටිය පැත්තට ගෙනිච්ච කියල තමයි හෝඩුවාවක්‌ තියෙන්නේ. ජනාධිපති, අගමැති, පොලිස්‌පතිගෙන් අපි ඉල්ලන්නේ අනේ මේ කිරි ගවයො ටික හොයල දෙන්න කියලයි. කිරි වලින් එන ආදායමින් තමයි ගමේ මිනිස්‌සු වන්දනාවේ යන්නේ දන්සල් කරන්නේ. දැන් අනාථයි.

එම ප්‍රදේශයේ සමාජ සේවකයකු වන උපුල් මහතා මෙසේ කීය. මේ ගමේ හරක්‌ හොරකම් ජාවාරමක්‌ තිබුණා. මේ පස්‌වන අවස්‌ථාව. මේක තමයි ලොකුම හරක්‌ හොරකම. ලංකාවේ වටිනාම කිරිගවයො තුන්දෙනාත් හොරකම් කරල. වහාම පියවර ගන්න මේ ජාවාරම්කරුවෝ අල්ලන්න කියලා අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලනවා.

ගම්පහ – සිසිර කුරුප්පුආරච්චි, ගම්පහ අධිකරණ – වින්සන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here