ශ්‍රී ලංකා පිල එක දිගට තරඟ 10ක් පරාදයි. විස්තරය මෙන්න.

0
18
views

බදාදා (ඔක්තෝබර් 18) අබුඩාබි හිදී පැවති පාකිස්තානයට එරෙහි තුන් වෙනි එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පිට පිටම එක් දින තරග දහයක් පරාජය වී තිබේ.

එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එක දිගට වැඩිම තරග ගණනක් පරාජය වී තිබෙන්නේ 1987/88 ක්‍රිකට් තරගවාරයේ දීය. ඒ පිට පිට තරග 14ක් පරාජය වෙමිනි.
වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දැන් වැඩිම තරග ගණනක් එක දිගට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවෙනි ස්ථානයට පත්වී තිබේ. බදාදා පැවති තරගයෙන් කඩුලු හතක පරාජයක් අත් කර ගැනීමත් සමග තරග පහකින් සමන්විත තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙස ජයගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකිවිය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු තරගකාරී බවක් නොදැක්වීම හා ඇතැම් පිතිකරුවන්ගේ මන්දගාමී පිතිහරඹය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්විය.

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග සඳහා වඩාත් උචිත ක්‍රීඩකයකු බව විචාරකයන්ගේ මතය වී තිබේ
පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ අවසන් එක් දින තරග තරග දෙකෙන් ආරම්භ වුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක දින තරග පරාජය, ඉන්දීය තරගාවලිය හා පකිස්ථාන තරගාවලිය දක්වා ද ඇදී යමින් පවතී

ශ්‍රී ලංකාව 300/6, සිම්බාබ්වේ 219/6 (D/L) : සිම්බාබ්වේ කඩුලු 4කින් ජය
ශ්‍රී ලංකාව 203/8, සිම්බාබ්වේ 204/7 : සිම්බාබ්වේ කඩුලු 3කින් ජය
ශ්‍රී ලංකාව 216, ඉන්දියාව 220/1 : ඉන්දියාවට කඩුලු 9කින් ජය
ශ්‍රී ලංකාව 236, ඉන්දියාව 231/7 (D/L) : ඉන්දියාවට කඩුලු 3කින් ජය
ශ්‍රී ලංකාව 217/9, ඉන්දියාව 218/4 : ඉන්දියාවට කඩුලු 6කින් ජය
ඉන්දියාව 375/5, ශ්‍රී ලංකාව 207 : ඉන්දියාවට ලකුණු 168කින් ජය
ශ්‍රී ලංකාව 238, ඉන්දියාව 239/4: ඉන්දියාවට කඩුලු 6කින් ජය
පකිස්ථානය 292/6, ශ්‍රී ලංකාව 209/8, පකිස්ථානයට ලකුණු 83කින් ජය
පකිස්ථානය 219/9, ශ්‍රී ලංකාව 187, පකිස්ථානයට ලකුණු 32කින් ජය
ශ්‍රී ලංකාව 208, පකිස්ථානය 209/3, පකිස්ථානයට කඩුලු 7කින් ජය

ඉහත තරග දහයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 240කට වඩා ලබාගෙන තිබෙන්නේ සිම්බාබ්වේ සමග පැවති පළමු තරගයේදී පමණය.
වත්මන් එක්දින ක්‍රිකට් තරග රටාව අනුව සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් ලෙසින් සැලකෙන්නේ ලකුණු 260කට ආසන්න ලකුණු ප්‍රමාණයකි. එහෙත් අවසන් තරග නවයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලෙස සටහන් වී තිබෙන්නේ ලකුණු 238කි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ මන්දගාමී ක්‍රීඩා රටාවද මෙම පරාජයන්ට හේතුවී තිබේ. දිනේෂ් චන්දිමාල් ඔහු අවසන් වරට ක්‍රීඩා කළ එක් දින තරග හතරේදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පන්දු සංඛ්‍යාවක් වැය කර තිබුණි. එනම් 36 (71) , 4 (9), 2 (4), 19 (49) වශයෙනි.
ලහිරු තිරිමාන්නගේ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉතා අඩු අගයක පවතින බව දක්නට ලැබුණි.
ලහිරු තිරිමාන්නගේ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉතා අඩු අගයක පැවතින. ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ ප්‍රවේගකාරී ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා හා අසේල ගුණරත්න ආබාධවලට ලක් වී සිටීම දිනේෂ් චන්දිමාල් කැඳවීමට සිදු වූ බව තේරීම් කමිටු සාමාජිකයෙක් බීබීසි සිංහල සේවයට පැවසීය.

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලකට ද තරග තහනමක් හේතුවෙන් පාකිස්තාන සංචාරය අහිමිවිය. කණ්ඩායමේ පරාජයට හේතුව පිතිකරුවන් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද, 2017 තරගවාරයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඩු දක්ෂතා ද එයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ටෙස්ට්, එක දින සහ විස්සයි විස්ස අංශවලින් මේ වසරේ තරග 24ක් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග හතරක් පමණය.

එම පරාජයන්ට පන්දු යවන්නන් මූලික ලෙස වගකිව යුතු බව ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුල්ලක් දවාගැනීම සඳහා ලකුණු 47කට වඩා ලබා දී තිබේ. පාකිස්තානය සමග තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මීළඟට මුණගැසෙන්නේ ලෝකයේ අංක 1 ස්ථානය දරන ඉන්දීය කණ්ඩායමය.

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here