දුෂණ විරෝදියෙකු ලෙස පෙනී සිටි සේවකයා තක්කඩි හොරෙක්.

0
22
views

ගම්පොල – සුරංග දිල්හාන්

මිල්කෝ සමාගමට අයත් ගම්පොල කිරි එකතු කිරීමේ මධ්‍යස්‌ථානයේ දියර කිරි සොරකමේ යෙදුණු එහි සේවකයාගේ වැඩ තහනම් කළ බව මිල්කෝ සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ටියුඩර් එස්‌. අමරසිංහ මහතා පැවසීය.

මෙම සේවකයා මිල්කෝ සමාගමට අයත් තොග අලෙවි අංශයේ සේවකයකු වන අතර ඔහු මිල්කෝ සමාගමේ දූෂණ විරෝධී සංගමයේද ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්‌ බව පැවසේ.

මොහු කිරි එකතු කිරීමේ මධ්‍යස්‌ථානය වෙත රාත්‍රි කාලයේ ඇතුළු වී ශීතකරණය තුළට නළයක්‌ යොදා කිරි ඇද භාජනවලට පුරවා ඔහු සතු ත්‍රිරෝද රථයෙන් රැගෙන යැමට උත්සාහ කළ අවස්‌ථාවේ රාත්‍රි එහි සැඟවී සිටි පරිපාලනයට සම්බන්ධ දෙදෙනකුගේ සහායෙන් පොලිසියට කොටු වීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කාලයක්‌ තිස්‌සේ මොහු මෙසේ කිරි සොරකමේ යෙදී ඇති අතර මධ්‍යස්‌ථානයේ කිරිවල අඩුව පිරවීම සඳහා මොහු විසින් බට යොදා ජලය පිරවීමද සිදු කර ඇති බව අනාවරණය වී තිබිණි.

කෙසේ නමුත් මොහු විසින් විවිධ දැ කිරිවලට කලවම් කර තිබුණද අඹේවෙල කර්මාන්තශාලාවේදී සිදුවන යන්ත්‍රාගාර පරීක්‍ෂාවේදී මෙම කිරි ප්‍රතික්‍ෂේප වීම නිසා මිල්කෝ සමාගමේ පාලනාධිකාරිය ගනු ලැබූ පියවර නිසා මෙම සොරකම හෙළි කර ගැනීමට හැකිවී තිබිණි.

ඒ සම්බන්ධයෙන් එහි ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ එකතුකරන කිරි සම්බන්ධයෙන් පුද්ගල පරීක්‍ෂාවක්‌ හා යන්ත්‍රාගාර පරීක්‍ෂාවක්‌ සිදු කරන නිසා කිසිදු ලෙසකින්වත් මෙහි නිෂ්පාදනවල ගුණාත්මක භාවයට හානි නොපැමිණෙන බවයි.

ඒ අනුව ගම්පොළදී මෙම පුද්ගලයා කිරිවලට කුමන දැ කලවම් කොට තිබුණ ද කර්මාන්තශාලාවේදි සිදු කරන පරීක්‍ෂාවේදී එම කිරි ප්‍රතික්‍ෂේප වීම නිසා මෙම සොරකම අල්ලා ගැනීමට හැකි වූ බවත් සමාගමේ නිෂ්පාදන ඉතා පිරිසිදු විශ්වසනීය ගුණාත්මක බවකින් යුක්‌ත බවත් අමරසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here