අගමැති බණ්‌ඩාරනායක ගැන රසකතා

0
20
views

බැරෑරුම් හා උග්‍ර දේශපාලන ප්‍රශ්න සමඟ වෙලී පැටලී සිටියද හැකි සෑම විටෙකම විනෝදකාමී ලෙස ගත කිරීම ගරු එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සිරිතය. ඔහු හාස්‍ය රසය බෙහෙවින්ම ප්‍රිය කළ කෙනෙකි. කෝප වී ඔහුට දෙස්‌ දෙවොල් තබන, දැඩි ලෙස ඔහු විවේචනයට ලක්‌කරන, ප්‍රතිවාදියා බොහෝ විට මෙල්ල කරනු ලබන්නේ උපහාසය මුසු වදන්වලිනි.

1956 දී පැවැති මහ මැතිවරණයේදී එතුමාගේ දේශපාලන සංවිධානය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවට තේරී පත්වූ කෝඩුකාර මන්ත්‍රීවරයෙක්‌ අගමැති බණ්‌ඩාරනායක මහතා හමුවට පැමිණ බයාදු ලෙස දැනුම් දුන්නේ, එදින තමාට පාර්ලිමේන්තුවේදී තම කුළුඳුල් කතාව කිරීමට සිදුව ඇති බවය.

“සර්· කතාව කෙසේ විය යුතුද?”

ආසියාවේ රිදී සීනුව ලෙස විරුදාවලී ලත් බණ්‌ඩාරනායක මහතා මෙහිදී මැඩ ගත් සිනහවෙන් යුතුව මෙසේ පිළිතුරු දුන්නේය.

“මගේ ආදරණීය මිත්‍රයා, හොඳ කතාවක්‌ හරියට නිරූපිකාවකගේ ගවුම වගේ තියෙන්න ඕනෑ. කුතුහලය දනවන තරමට කෙටි වෙන්නත් ඕනෑ. ප්‍රස්‌තුතය කවර්වෙන (ආවරණය) තරමට දික්‌වෙන්නත් ඕනෑ.”

1956 මහ මැතිවරණයේදී මහජන එක්‌සත් පෙරමුණෙන් තරඟ කොට දිනා පාර්ලිමේන්තුවට පත්වූ වෘත්තීය සමිති නායකයෙක්‌ වැඩිකල් නොයාදීම අගමැති බණ්‌ඩාරනායක මහතා හමුවේ පැමිණිල්ලක්‌ කළේය.

“බලන්න, සර්· මේ රජයේ නිලධාරීන් මට ගරු නම්බු ඇතිව කතා කරන්නෙ නෑ. සර් කියලා කියන්නෙම නෑනෙ.”

බණ්‌ඩාරනායක මහතාද තමන්ගේ උදහස පළකරමින් (මැඩ ගත් සිනහවෙන් යුතුව) “බොහොම වැරදියි· බොහොම වැරදියි·· මොකද ඒ අය අවශ්‍යයෙන්ම කියන්න ඕන වචනය නොකියන්නෙ” යි පැවසීය. ඉන්පසු අගමැතිතුමා, “කවුරු නොකිව්වත් ආරම්භයක්‌ වශයෙන් මමම කියන්නම්, වාඩිවෙන්න සර්….” යයි යටහත් පහත් ලෙස ඇරියුම් කළේය.

මන්ත්‍රීතුමාගේ නම්බුකාරකම බිංදුවටම බැස්‌සේය.

1957 සැප්තැම්බර් 04 වන දින වවුනියා මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතා බණ්‌ඩාරනායක මහතාට එදිරිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කොට, ඔහු ඉතා වේගවත්ව හා දැඩි ලෙස අගමැතිවරයා විවේචනය කරන්නට විය. එවිට බණ්‌ඩාරනායක මහතා කතාවට මඳක්‌ බාධා කොට මෙසේ පැවසීය.

“ඇයි· ඔබ දත් කුට්‌ටමක්‌ සවිකර නොගන්නෙ? අපට ඔය කියන වචනයක්‌වත් තේරෙන්නේ නෑ.”

සුන්දරලිංගම් මහතාගේ ප්‍රහාරයේ වේගවත් බව වහාම අඩු වී ගියේය.

එම විවාදයේම සුන්දරලිංගම් මහතා බණ්‌ඩාරනායක මහතාගෙන් මෙසේ ඇසීය.

“බම්බලපිටිය පොලිසියේ රඳවාගෙන සිටි තමාව එතනින් ඔසවාගෙන විත් මගේ නිවස අසල මහ පාරේ දමා යැමට නියම කළේ මන්ද?”

එහිදී සිදු වූ දෙබස මෙසේය.

බණ්‌ඩාරනායක මහතා – ඇයි· ගෙදර යන්න ඔය තරම් බය වුණේ.

සුන්දරලිංගම් මහතා – මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න

බණ්‌ඩාරනායක මහතා – පොලිසිය මට කියා සිටියා වවුනියාව මන්ත්‍රීවරයා ඒ අයගේ කෑම ටික කනවා, ඒ අයගේ ඇඳුම් අඳිනවා, ඒ අයගේ ඇඳන්වල නිදා ගන්නවා, මේක මහා කරදරයක්‌ කියලා. ඉන් පස්‌සේ මං ඒ අයට කිව්වා එහෙනම් සුන්දරලිංගම් මහතා ගෙදර ඇරලවන්න කියලා.

සුන්දරලිංගම් මහතා – ඉතින් මාව ගෙදරටද ඇරව්වේ. මාව පාරෙ දාලා පොලිසිය පැනලා ගියා.

බණ්‌ඩාරනායක මහතා – ඉතින් ඔබ මොකද කළේ?

සුන්දරලිංගම් මහතා – මං මොනවද කරන්නේ. මම පොලිසිය පස්‌සෙ එළවාගෙන ගියා. ඒ අය දුවගෙන ගිහින් ලොරියක නැගලා යන්න ගියා.

බණ්‌ඩාරනායක මහතා – බලන්න කථානායකතුමනි, වවුනියාව මන්ත්‍රීවරයා වගේ කෙනෙක්‌ පස්‌සෙන් පන්නන විට පොලිසිය පලා නොගිහින් මොනවා කරන්නද?

සුන්දරලිංගම් මහතා ඊට එහා කතා කරන්නට ගියේ නැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමෙහිලා උත්තර මන්ත්‍රී මණ්‌ඩලයෙන් (සෙනෙට්‌ සභාවෙන්) හා නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයෙන් තෝරා පත් කෙරුණු ඒකාබද්ධ කාරක සභාව යළි පත් කිරීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් බණ්‌ඩාරනායක අගමැතිතුමා 1957 නොවැම්බර් 07 වන දින කතා කරගෙන යද්දී සුන්දරලිංගම් මහතා ඊට බාධා කරමින් මෙසේ ඇනුම් පදයක්‌ කීවේය.

“ඒ ගොල්ල බොහෝ වෙහෙස දරා මීයකු ප්‍රසූත කරාවි”

එක්‌වරම ඊට පිළිතුරු දුන් බණ්‌ඩාරනායක මහතා මෙසේ කීවේය.

“ඔහු මෙහිදී සඳහන් කර සිටින්නේ දුක්‌ වේදනා විඳ මීයකු ප්‍රසූත කළ කන්ද ගැනයි. මේ නම් අමාරුවෙන් කන්දක්‌ ප්‍රසූත කළ මීයකුගේ විළිරුදාව විය හැකිය.”

1956 මහ මැතිවරණයෙන් පසු බණ්‌ඩාරනායක නිවස හැම විටම පාහේ ජනයාගෙන් පිරී පැවැත්තේය. පැමිණි සැමට වාගේ නිහතමානීව හා ගෞරවයෙන් යුතුව සැලකීමට බණ්‌ඩාරනායක මහතා උත්සුක විය. ඒ අතර කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාද විය. (හේ බණ්‌ඩාරනායක මහතා තදින්ම විවේචනය කළ දේශපාලන ප්‍රතිවාදියකු වී සිටියේය.) බණ්‌ඩාරනායක මහතා ගුණසිංහ මහතාට විහිළුවක්‌ කරමින් මෙසේ පැවසීය.

“අපේ පක්‌ෂයෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනා දිනුවා. හැබැයි ඒ අතරේ දෙබිඩි මන්ත්‍රීන්ද ඉන්නවා.”

ගුණසිංහ මහතා අන්දුන් කුන්දුන් වී වටපිට බැලුවේය.

“ඇයි· හඳුනන්නේ නැද්ද? මේ තමා ඇම්. පී. හේරත්, දැදිගම එම්. පී” යයි අවට සියල්ලෝම සිනා සාගරයේ ගිල්වමින් දැදිගම මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේය.

බණ්‌ඩාරනායක මහතාද සහභාගි වූ එක්‌තරා සාදයකට සුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද පැමිණ සිටියහ. එහිදී තේ කෝප්පය උණු වැඩි නිසා ඔවුන් තේ බීවේ පීරිසියට වත්කොට ගෙනය. ඉහළ සමාජයෙන් පැමිණ සිටි ඇත්තන්ගේ සිරිතට මෙය ගැළපුණේ නොවේ. එහෙයින් ඔවුහු පොලිසියේ මහතුන් සමච්චලයට ලක්‌වන සේ සිනාසෙන්නට වූහ. එවිට බණ්‌ඩාරනායක මහතා වටපිට බැලීය. වහාම කාරණය තේරුම් ගත්තේය. අසුනින් නැගිට ගත් ඔහු කාටත් පෙනෙන පරිදි පීරිසියට වත්කොට ගෙන තේ බොන්නට විය. සමච්චල් සිනා එක්‌වරම නැවතින.

1958 වසරේදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය මගින් සංවිධානය කළ මහා වැඩ වර්ජනයක්‌ විය. එය ඉතා උච්ච ස්‌ථානයකට පත්වූ මොහොතක සටන්කාමී වැඩ වර්ජකයන් පිරිසක්‌ පාර්ලිමේන්තුව දෙසට ගමන් කළේ මහත්වූ උද්යෝගයෙන් සටන් පාඨ කියමිනි. පාර්ලිමේන්තුවට යමින් සිටි බණ්‌ඩාරනායක මහතා සහිත රිය මෙම පෙළපාලියට මැදි විය. කම්කරුවෝ හා ලිපිකරුවෝ සටන් පාඨ කියමින් රථය වටකර නවතා ගත්හ. රියෑදුරු කලබල ගතියක්‌ පෙන්නුවද අගමැති බණ්‌ඩාරනායක මහතා සන්සුන් ලෙස සිනාමුසු මුහුණින් පයිප්පයද දල්වා ගත්තේය. මඳ වේලාවක්‌ තමන් වෙත එල්ල කෙරුණ සටන් පාඨවලට කන් දුන්නේය. ඉන්පසු රථයෙන් පිටතට දමා ගත් අත ඔසවා “මහත්වරුනි, තමුන්නාන්සේලාට ජයවේවා” යි කීවේය. කම්කරුවෝත් “ජයවේවා” යි හඬ නඟමින් රථයට ඉදිරියට යැමට මාවත හෙළි පෙහෙළි කර දුන්නෝය.

“බණ්‌ඩට පිට කොන්දක්‌ නෑ. වැඩ කරන්න දන්නෙත් නෑ.” යනුවෙන් ප්‍රතිවාදීහු එතුමා උපහාසයට ලක්‌ කළේ, එතුමා කෙරෙහි වූ අසීමිත කරුණාව, දයාව, අනුකම්පාව හා මෛත්‍රිය දුර්වලත්වයක්‌ කොට සලකමිනි. මේ අතර බණ්‌ඩාරනායක මහතාට කොන්දේ අමාරුවක්‌ සෑදී වෛද්‍ය උපදෙස්‌ අනුව වැඩ රාජකාරිවලින් බැහැරව දින කීපයක්‌ ගත කිරීමට සිදුවිය. පසුව කොළඹ නගර ශාලාවේ පැවැති රැස්‌වීමක්‌ අමතා බණ්‌ඩාරනායක මහතා මෙසේ කියා සිටියේ ප්‍රතිවාදීන් පවා සිනා සයුරේ ගිල්වා තැබීමට හැකි අන්දමිනි.

” මිත්‍රවරුනි, පසුගිය දිනවල කොන්දේ අමාරුවකින් රෝගීව සිටි මම ටික දිනක්‌ රාජකාරි කටයුතුවලින් ඈත් වී සිටි බව රහසක්‌ නොවනු ඇත. මට කොඳු ඇටයක්‌ නැතැයි හැමදාම පහර දෙමින් සිටි මගේ දේශපාලන විරුද්ධවාදීන්ට පවා මගේ මේ අසනීපය නිසා මට කොඳු ඇටයක්‌ තිබුණ බවත්, ඒ නිසාම කොන්දේ අමාරුවකින් රෝගීව සිටින බවත් පසුගිය දිනවල පිළිගන්නට සිදු වූ බව තමුන්නාන්සේලාට අමුතුවෙන් කිව යුතු දෙයක්‌ නොවේ.”

ඒ වකවානුවේ රජයටත්, ගුරුවරුන්ටත් මහත් වූ ගැටලුවක්‌ව පැවැතියේ ගුරුවරු රජයේ සේවකයන්ද? නැද්ද? යන්නය. ඒ ඒa ආණ්‌ඩු තම තමන්ගේ වාසිය තකා ඒ ඒ අවස්‌ථාවලදී ගුරුවරු රජයේ සේවකයන් ලෙස ඇඟවෙන ලෙසත්, සමහර විටෙකදී රජයේ සේවකයන් නොවෙන සේද කටයුතු කිරීමත් නිසා එය මහත් වූ උභතෝකෝටියක්‌ බවට පත් වී තිබුණි.

මේ අතර ඇල්. ආරියවංශ මහතා (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය) ප්‍රමුඛ ගුරු සංගම් නියෝජිත පිරිසක්‌ ගුරු ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා බණ්‌ඩාරනායක මහතා හමුවූහ. විවිධ ප්‍රශ්න ගැන සාකච්ඡා කරමින් සිටින අතරවාරයේ ආරියවංශ මහතා අගමැතිතුමාගෙන් කෙළින්ම මේ ප්‍රශ්නය ඇසීය.

“අගමැතිතුමනි, ගුරුවරු රජයේ සේවකයන්ද? නැද්ද? කෙළින්ම අපට ප්‍රකාශ කර සිටින්න.”

පයිප්පයෙන් දුම් උගුරක්‌ ඇද, දුම් වලාවක්‌ පිටකර සුළු වේලාවක්‌ ගත කළ අගමැතිතුමා මෙසේ පිළිතුරු දුන්නේ ගුරු නියෝජිත පිරිස්‌ මුව අයා බලා සිsටියදීය.

“ඇත්තටම ආරියවංශ මහත්මයා, මාත් මේ කල්පනා කළේත් ඒකම තමා, ගුරුවරු රජයේ සේවකයන්ද? නැද්ද?”

පුවත්පත් සඟරා ඇසුරෙනි.
ආරියපාල මුදලිගෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here