කොස්‌ගොඩ වෙඩි තැබීම් 4ක්‌ මරුට – මියගිය අය අතර එකම පවුලේ පියා සහ පුත්‍රයෝ 2ක්‌

0
19
views

කොස්‌ගොඩ පොලිස්‌ වසමේ ස්‌ථාන තුනකදී ඊයේ (29 දා) අලුයම සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් දහතුන් හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ තවත් පහළොස්‌ හැවිරිදි දරුවකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙහිදී මියගොස්‌ ඇත්තේ ඌරගස්‌මන්හන්දිය යුද පිටිය ප්‍රදේශයේ පදිංචි ජගමුනි මහින්දරාජා සොයිසා (50) ඔහුගේ වැඩිමහල් පුතාවන ජගමුනි අයේෂ් (21) සහ බාල පුතාවන ජගමුනි දුමිදු විශ්මික (13) නමැති තිදෙනා සමග කොස්‌ගොඩ මැණික්‌ ගම්මානයේ පදිංචි කපිලරත්න නමැති 38 හැවිරිදි අයෙකි. තුවාල ලබා ඇත්තේ කොස්‌ගොඩ කුරුඳුගම්පියස නානතොට ප්‍රදේශයේ පදිංචි චදිල සුරංජිත් නැමැති පහළොස්‌ හැවිරිදි දරුවෙකි. මියගිය මහින්දරාජා මහතා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුද වේ.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් 04 දෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔවුන් කොස්‌ගොඩ පොලිස්‌ වසමේ යුද පිටිය, කුරුඳුගම් පියස සහ මැණික්‌ ගම්මානය යන ප්‍රදේශවලට ගොස්‌ වෙඩි තැබීම් සිදුකර ඇති අතර ටී 56 ගිනි අවි සහ පිස්‌තෝල උපයෝගී කරගෙන වෙඩි තැබීම් සිදුකර ඇති බවත් උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය.

යුදපිටියේ වෙඩි තැබීමෙන් පියා සහ පුතුන් දෙදෙනාද, මැණික්‌ ගම්මානයේ වෙඩි තැබීමෙන් කපිලරත්නද මියගොස්‌ ඇති අතර කුරුඳුගම් පියසේ වෙඩි තැබීමෙන් 15 හැවිරිදි දරුවා තුවාල ලබා ඇත.

මෙම වෙඩි තැබීම්වලින් මියගිය සහ තුවාල ලැබූ අය හිතවතුන් වන අතර වැරදි වැටහීමකින් ඔවුන්ට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකපහළ කර ඇත.

මෙම වෙඩි තැබීම සඳහා “කොස්‌ගොඩ ලොක්‌කා” නමැති මියගිය පාතාල සාමාජිකයාගේ සහෝදරයකු සම්බන්ධ වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි එම නිලධාරියා කීය.

“කොස්‌ගොඩ ලොක්‌කා” නමැති මියගිය පාතාල නායකයා සහ යුදපිටිය ප්‍රදේශයේ පදිංචි මහින්ද රාජා (මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා) අතර කාලයක සිට අමනාපකමක්‌ තිබී ඇති බවත් මහින්ද රාජා ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත කොස්‌ගොඩ ලොක්‌කාගේ ඝාතනය සිදුකරන්නට ඇතැයි කොස්‌ගොඩ ලොක්‌කාගේ පාර්ශ්වය තුළ සැකයක්‌ මතුව තිබී ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

නමුත් කොස්‌ගොඩ ලොක්‌කා නමැති පාතාල සාමාජිකයා බන්ධනාගාර ගතව සිටියදී කොස්‌ගොඩ සුජී නමැති පාතාල සාමාජිකයා සමග ඇතිකරගත් ගැටුමකින් පසු කොස්‌ගොඩ සුජීගේ කල්ලිය විසින් වැලිපැන්න ප්‍රදේශයේදී කොස්‌ගොඩ ලොක්‌කා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකර තිබුණි.

එහෙත් කොස්‌ගොඩ ලොක්‌කාගේ ඝාතනය මහින්ද රාජා විසින් සිදුකරන්නට ඇතැයි සැකකාර ලොක්‌කාගේ කල්ලිය විසින් මෙම වෙඩි තැබීම් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඊයේ (29 දා) සවස්‌ වන විටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් 5 ක්‌ යොදවා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කොස්‌ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, කොස්‌ගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්, ගාල්ල – එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද – ගාල්ල විශේෂ, අහුන්ගල්ල – කමල් ශ්‍රී ලියනගේ, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්‌මීමන – කේ. මතිලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here