අගමැති හෝ ජනපති නොපැමිණීම නිසා තිස්‌ස අත්තනායකට එරෙහි නඩුව කල්යයි

0
28
views

අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දීමට නොපැමිණීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් හිටපු ඇමැති තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය සිව්වැනි දිනටත් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (4 දා) නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා ඊයේ (4 දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය විසින් සිතාසි යවා තිබුණි.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය නිසා අගමැතිවරයා හා ජනාධිපතිවරයාට ඊයේ (4 දා) දිනයේ පෙනී සිටීමේ හැකියාවක්‌ නොමැති බව දන්වා වෙනත් දිනයක්‌ ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව නඩු විභාගය ලබන (2018) පෙබරවාරි 26 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා ඊයේ (4 දා) අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට එදින යළි පෙනී සිටින ලෙසට අවවාද කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂියක්‌ ලෙස ඉදිරිපත් කර ඇති ඩීවීඩී පටය එදින විවෘත අධිකරණය හමුවේදී ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝගයක්‌ නිකුත් කළේය.

එම නඩුවේ විත්තිකාර තිස්‌ස අත්තනායක මහතාට ඔස්‌ටේ්‍රලියාවේ උසස්‌ අධ්‍යාපනය හදාරන ඔහුගේ දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම සඳහා ලබන 10 වැනිදා සිට 30 වැනිදා දක්‌වා විදේශ ගත වීමටද විනිසුරුවරයා එහිදී අවසර ලබා දුන්නේය.

විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද මහාධිකරණ රෙජිස්‌ට්‍රාර්වරියට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව විත්තිකරු වෙත මුදාහරින ලෙසටද මහාධිකරණ රෙජිස්‌ට්‍රාර්වරියට වැඩිදුරටත් නියෝග කළේය.

පැමිණිල්ලේ පළමු හා දෙවැනි සාක්‍ෂිකරුවන් වන අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ලබන පෙබරවාරි 26 වැනිදා නඩු දිනය සම්බන්ධයෙන් දැනුම්දීමේ වගකීම තමා භාරගන්නා බව එම සාක්‍ෂිකරුවන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්‌කාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කූඨ ලේඛනයක්‌ ඉදිරිපත් කරමින් එවකට විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහස්‌ ගිවිසුමක්‌ තිබෙන බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලවලට අහිතකර බලපෑමක්‌ ඇති කිරීම ඇතුළු අධිචෝදනා තුනක්‌ යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය සමග අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වීය.

නීතිඥ නිරෝෂන් සිරිවර්ධන, ඉන්දික ගිරාගම ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමග ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ඡේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here