සරසවිය කෙළෙසන නවක වධය – ශාරීරික හා මානසික ලිංගික හිංසා කරන්නේ මෙහෙමයි

0
43
views

‘හොස්ටල් එකට ගිය මුල්ම දවසේ අපට සරං ඇඳගෙන හොස්ටලේ එකේ කාමරයකට එන්න කිව්වා. ඉන් පස්සේ සෙකන්ඞ් ඊයර් අයියලා ඇවිත් අපේ සරං ගලවන්න කිව්වා. කට්ටියගෙම සරං ගලවලා පැත්තකින් තිබ්බා. ළමයින් කෑගහද්දි සද්දෙ ඇහෙනවට හයියෙන් සිංදු දාලයි තිබුණේ. ’

මේ නවකතාවක කොටසක් නොවේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ කතාවක ඇරැුඹුමකි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් කතා කරන්නට යන්නේ ඇතැමුන් කතා කරනවාට අකමැති, කතා කරනවාට විරුද්ධ, කතා කරනවාට බිය මාතෘකාවක් ගැනය. ඒ විශ්ව විද්‍යාල නවක වදයයි.

නවක වදයට ලක්වූ බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබිණ. රෝහල් ගත වීමට සිදුවන තරමට නවකයන්ට දෙන වදය ඇතැම්හු තවමත් සාධාරණීකරණය කරති. අමානුෂික නවක වදයට ලක්වීම නිසා වසරකට සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවකට සරසවිය එපා වීම සාමාන්‍ය තත්ත්වයකි.

නවක වදය ගැන කතාව ආරම්භ කළේ ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සත්‍ය කතාවකිනි. ඒ කතාවේ ඇරුඹුම පමණි. සෑම විශ්ව විද්‍යාලයකම සෑම පීඨයකම තත්ත්වය මෙය නොවේ. මොරටුව ඇතුලූ ඇතැම් විශ්ව විද්‍යාලවල දරුණු නවක වදයක් නැත.

සෑම විශ්ව විද්‍යාල සිසුවකුටම නවක වද චෝදනාව එල්ල නොවන අතර නවක වදයට අකමැති බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලවල සිටිති. එක් එක් විශ්ව විද්‍යාලවල නවක වදය දෙන ක‍්‍රමවේදයද වෙනස්ය. නවක වදය ගැන කතා කළ යුත්තේ නවක සිසුන්ට විශ්ව විද්‍යාල එපා කරවීමට නොව අමානුෂික නවක වදය නතර කිරීම සඳහාය. මේ ලිපිය ඇරුඹූ කතාවේ ඉතුරු කොටසයි.

‘‘හැමදාම රෑට අපිව මේ විදියටම හොස්ටල් එකේ ඒ කාමරයට ගෙන්වනවා. මුල්ම දවස් ටිකේ අපි සරම ඇඳගෙන කාමරයට යන්න ඕනා. එතනදි සරම ගලවන්න නියම කරනවා. ඉන් පස්සේ ඒක වෙනස් වුණා. අපි ඒ කාමරයට යන්න ඕනා ඇඳුම් නැතිවමයි. ඉන් පස්සේ අපේ කණ්ඩායමේම කට්ටිය සහ දෙවැනි වසරේ කට්ටිය ලව්වා ලිංගික අවයව පරීක්ෂා කරනවනවා. ඉන් පස්සේ හැමෝමටම තර්ජනය කරනවා විවිධ දේ කරන්න කියලා. එහොම නොකළොත් පහර දෙනවා. ඒ කාමරේ ෆෑන් එකක්වත් නෑ. කට්ටියගේ දාඩිය බිමට වැටිලා එකතු වෙලා වතුර වගේ.

ඕවගේ වද දීලා ඉවර වෙද්දි පාන්දර වෙනවා. ඉන් පස්සේ අපි කාන්තා නේවාසිකාගාර ළඟට උදේ පාන්දරම යන්න ඕනෑ. අපේ කණ්ඩායමේ ශිෂ්‍යාවො නේවාසිකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි ඔවුන්ව දේශන ශාලාවට එක්කරගෙ යන්න ඕනෑ.

මාස තුනක් යනකං මේ විදියට වද දුන්නා. ඉන් පස්සේ හොස්ටල් එකේදී නිර්වස්ත‍්‍ර කරලා බාල්දි වලට කුණු වතුර අරං නෑව්වා. ඒකට කියන්නේ හොස්ටල් බකට් එක කියලා. එතනින් නවක වදය ඉවරයි. ඉන් පස්සේ කැම්පස් බකට් එක ඉවර වෙනනම් සති දෙකක් සුදු කමිසෙයි කලූ කලිසමයි ඇදගෙන යන්න ඕනෑ. එකම ඇදුම අදින්න ඕනෑ. සති දෙකම හෝදන්න බෑ. දෙවෙනි සතියේ අන්තිම දවස් වෙද්දි අර ඇදුම් කිළිටි වෙලා සත්තු වගෙයි කට්ටිය එන්නේ. ඉන් පස්සේ කැම්පස් එකේම වෙනත් තැනකට පිරිමි ළමයි සහ ගැහැණු ළමයි ගත්තා. පිරිමි ළමයින් ඔක්කොගෙම කලිසම් ගලවලා යට ඇදුම පිටින් තියලා බකට් වලින් වතුර ගහලා නෑව්වා. ඉන් පස්සේ යට ඇදුම් නැතිව කලිසම් අන්දවනවා.

ඊට පහුවදා දෙවැනි වසරේ අය අපට පාටියක් දෙනවා. පාටියක් දෙනවා කියලා කරන්නේ පොඞ්ඩක් කන්න දෙන එකයි. ඒකට කියන්නේ සෝෂල් එක කියලයි. ඒකට පස්සේ අපේ කණ්ඩායමෙන් දෙවැනි වසරේ අයට පාටියක් දෙන්න ඕනා. ඒකට කියන්නේ රිටර්න් පාටිය කියලයි. අපේ කට්ටියම සල්ලි දාලා හොද වර්ගයේ බෝතල් අරගෙන ඔවුන්ට බොන්න සහ කන්න දෙන්න ඕනෑ.’’

ඒ එක්තරා විශ්ව විද්‍යාලයක සිසුවකු සිය අත්දැකීම විස්තර කළ ආකාරයයි. ඊළඟට කියන්නට යන්නේ තවත් විශ්ව විද්‍යාලයක නවක වදය දුන් ආකාරය ගැනයි. ඒ කතාව කීවේ ශිෂ්‍යාවකි.

‘අපි උසස් පෙළ සමත් වෙලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන කැම්පස් ආවේ. ඒත් කැම්පස් එකට ගියාට පස්සේ මට කැම්පස් එපා වුණා. අපිට අමානුෂික නවක වදයක් දුන්නේ. අපි දෙවැනි වසරේ අයට ඔලූව නමලා ආචාර කර්නන ඕනා. කළේ නැතිනම් කම්මුලට ගහනවා. එහෙම නැතිනම් වැලි සහ ගල් කැබලි උඩ දණගස්වනවා.

ඊට පස්සේ දසකලා අභිශේකය කියලා එකක් කරනවා. ඒක කරන්නේ එක කාමරයක. ඒකේ බිත්තිවල ගැහැණු රූපයි පිරිමි රූපයි ඇ`දලා තියෙනවා. විකෘති මානසිකත්වයක් තියෙන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමයි මේවා කරවන්නේ. ගැහැණු ළමයින්ට පිරිමි රූප සමඟ යම් ක‍්‍රියාකරකම් ටිකක් කරන අයුරු පෙන්වන්න කියනවා. ඒවගේම අපිට කුණුහරප කාඞ් (අන්වර්ථ නාම) දාන්නේ. ඊළඟට බිංකුන්ඩන් නැටවීම හා ටෙන්ට් ගැසීම කියලා තවත් රැග් එකක් තිබෙනවා. ඒ කියන්නේ නවක වද කාලයේ අපිට තිසරපට ඇඳීම තහනම්. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඒවා පරීක්ෂා කරනවා. ඉන් පස්සේ අපිව පිරිමි ළමයින් ඉන්න තැනට යවනවා. විශ්ව විද්‍යාලයේ ඉන්දි මම මුහුණ දුන්නු අමානුෂිකම සිද්ධිය තමයි ඒක. ඒක ප‍්‍රසිද්ධියේ විස්තර කරන්න අමාරුයි. අපිත් එක්ක හිටපු සමහරුන්ට මේක නිසා කැම්පස් එපා වුණා.’’

විශ්ව විද්‍යාල නවක වදයේ තරම එම ශිෂ්‍යාවගේ කතාවෙන් මොනවට පැහැදිලි වෙයි.

පෙර සඳහන් කළ පරිදිම විශ්ව විද්‍යාලවල බහුතරයක් දෙනා නවක වදයට විරුද්ධය. නවක වදය ක‍්‍රියාත්මක කරන්නේ කිහිප දෙනකු පමණි. ප‍්‍රශ්නය නවක වදයට මුහුණ දී දුක් විඳින සමහරු ඊට පසුව තමන්ගේ නවකයන්ට නවක වදය දීමට ඉදිරිපත් වීමයි.

නවක වදය ගැන විශ්ව විද්‍යාල සිසුන් සහ මෑතකදී විශ්ව විද්‍යාලවලින් ඉවත් වුණු බොහෝ දෙනෙකු සමඟ කතා කළ අතර ඔවහු සියලූ දෙනාම පාහේ නවක වදයට විරුද්ධව කරුණු කීහ. නමුත් ප‍්‍රසිද්ධියේ නවක වදය ගැන කතා කරන්නට මැලි කමක් දැක්වූහ.

සංඛ රඹුක්වැල්ල කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට පසුගිය වසරේ ඉන් පිට විය. තම අන්‍යතාවය ඇතිව නවක වදය ගැන විවෘතව කතා කරන්නට ඔහු කැමති විය. මේ නවක වදය ගැන ඔහුගේ අදහසයි.

‘මම විශ්වවිද්‍යාලයට එන්නේ 2011 වසරේ. උසස්පෙළ ලියලා පාස් වෙලා කැම්පස් තේරුණා කියලා දැනගත්ත ගමන් ඇත්තටම ඊළඟට මතක් වෙන්නේ රැුග් එක. රැුග් එක ඒ තරම්ම සමාජගත වුණ වගේම සමාජය විසින් පිළිනොගන්න ඒත් අනියම් ආකාරයට පිළිගන්න දෙයක් වගේ හැඟීමක් මට මුල් දවස් වල තිබුණේ.

විශ්ව විද්‍යාලයට ආවට පස්සේ රැග් එක ආකාර දෙකකට දකින්න පුළුවන් වුණා. එකක් මානසිකමය වශයෙන් කරන රැග් එක. අනික ශාරීරික වශයෙන් සිදුකරන රැග් එක. මානසිකමය වශයෙන් රැග් එකට බහුතරයක් ලක් වෙන්නේ ගෑණු ළමයි. පිරිමි ළමයිනුත් මානසිකමය විදිහට රැග් නොවෙනවා කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නෑ.

ඉතා හොඳින් කතා කිරීමේ ඉඳලා පරුෂ වචනයෙන් බැණ වැදීම වෙනකම් මානසිකමය විදිහට වද වේදනා දීම සිද්ධ වෙනවා. ශාරීරිකව ගත්තහම පහරදීම්, දණගෑවීම්, නිරුවත් කිරීම් වගේ දේවල් කරනවා. බොහෝ දුරට ඒ වගේ රැග් වලට ලක් වෙන්නේ පිරිමි ළමයි. මීට අමතරව පළමු වසරේ ශෝෂල් එක ඉවරවෙනකම් තමන්ට කැමති ඇඳුමක් ඇඳීමේ සහ තමන්ට කැමති පරිදි විශ්ව විද්‍යාල තුළ හැසිරීමේ අවස්ථාව නවකයාට අහිමි වෙනවා. මේ තත්ත්ව විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

රැග් කරනවා කීවම බහුතරයක් හිතන්න පුලූවන් දෙවන වසරේ සියලූ දෙනාම එකතු වෙලා පළමු වසරට පැමිණි නවකයන්ව රැග් කරනවා කියලා. නමුත් ඒක සත්‍යයෙන් තොර කතාවක්. ඇත්තටම රැග් එක මෙහෙයවන්නේ කීප දෙනෙක්. සමහර විට එක බැච් එකකින් දහ දෙනෙක් පහළොස් දෙනෙක් උපරිම සම්බන්ධවෙයි රැග් කරන්න. බහුතරයක් වන ශිෂ්‍ය ප‍්‍රජාව සාමකාමියි.

ඒ වගේම සමාජයේ මුල් බැසගත්ත සහ බලෙන් ඔබ්බවපු මතයක් තියනවා දේශපාලන පක්ෂ එකක් හෝ කිහිපයක් විසින් මේ රැග් එක මෙහෙයවනවා කියලා. විශ්ව විද්‍යාලයේ හිටිය කෙනෙක් විදිහට මම ඒක එක හෙළාම පිළිගන්නේ නෑ. මොකද ඔය කිසිම පක්ෂයකට සම්බන්ධ නැති මිනිස්සුත් නවකයන්ට රැග් කරනවා මම දැකලා තියෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රැග් කරන අයවලූන් තමන්ගේ ක‍්‍රියාව සාධාරණීයකරණය කරන්න ගේන ප‍්‍රධානම තර්කය පිළිබඳව. ඒකෙදි ඔවුන් කියන්නේ කණ්ඩායම අතර සුහද බව ඇති කරන්න තමයි රැග් කරන්නේ කියන කාරණය. ඇත්තටම පළමු වසරේ එකට හිටියත් දෙවන, තුන්වන සහ සිව්වන වසර වෙනකොට සේරම ළමයි ක්ලාස් පස්සේ නෝට් පස්සෙයි දුවන්නේ. කිසිම සහෝදර බැඳීමක් නෑ. ඒකෙන් අදහස් කරන්න පුළුවන් රැග් එකෙන් රැග් එක සාධාරණය කරන්න ගේන සුහදතාවය පිළිබඳ තර්කය බිඳ වැටෙන බව. මගේ පෞද්ගලික අදහස වල්මත් වූ පිස්සන් ටිකකගේ ව්‍යාකූල අදහස් ක‍්‍රියාවට නගන නිහීන වැඩක් රැග් එක කියන්නේ. අලූත් ලෝකෙට මේ ගෝත‍්‍රික සංකල්ප ගැලපෙන්නේ නෑ.’’

සංක ප‍්‍රකාශ කළ ආකාරය විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නවක වදයට විරුද්ධය. ගෝත‍්‍රික සංකල්ප ඇති කිහිප දෙනෙක් පමණක් නවක වදය ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. පසුගිය සතියේ රෝහල් ගත වීමට සිදු වූ පේරාදෙණිය සරසවියේ සිසුවා එහි එක් ගොදුරක් පමණි.

එක් විශ්ව විද්‍යාලයක සිසුවකුට තට්ටු හතරක නේවාසිකාගාරයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට දිනපතා දණගාගෙන නගින්නට සහ බහින්නට සැලස්වා තිබිණි. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ නවක වදය ඉවසා ගත නොහැකිව එක සිසුවෙකු මානසික රෝගියකු වීමයි. සිසුන් හතර දෙනකුගේ ගුද මාර්ගයට ප්ලාස්ටික් බට බැස්සවීමේ සිද්ධියක් මෑතකදී වාර්තා විය. බොහෝ සරසවිවල මේ වන විට නවන වදය ක‍්‍රියාත්මක නොවන මට්ටමක තිබුණත් විකෘති මානසික තත්ත්වයන් ඇති මෙවැනි පිරිස් ඉඳ හිට සිටිති.

විශ්ව විද්‍යාලවල නවක වදය නැවැත්වීම සඳහා විශේෂ පණතක් ද ගෙන ආවේය. ඒ 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක‍්‍රියාකාරකම් තහනම් කිරීමේ පනතයි. නවක වදය නැවැත්වීමට බොහෝ නීති රීති තිබුණත් බහුතරයක් සිදු වන්නේ ඒ නීති රීතිවලට මුවා වී ශිෂ්‍ය මර්දනය කිරීම පමණි. සැබෑ ලෙසම නවක වදය නැවැත්වීමට කටයුතු කිරීම නොවේ.

තාක්ෂණය අතින් දියුණු වත්මන් සමාජයේ නවක වද සිදුවීම් රැසක් සමාජය මාධ්‍ය හරහා දර්ශන සහිතව අනාවරණය විය. නමුත් ඒ බහුතරයකට තවමත් නිසි පියවර ගෙන නැත. පරිපාලනමය වැරදිවලට කතා කරන සිසුන්ට දිගින් දිගටම පන්ති තහනම් කිරීම් වැනි විනය පියවර ගත්තද ඇත්තටම නවක වදය දෙන සිසුන්ට එවැනි දඬුවම් ලැබෙනවාද යන්න ගැටලූවකි. ගෝත‍්‍රික නවක වදය නැවැත්වීමට නම් මුලින්ම විශ්ව විද්‍යාල ප‍්‍රජාව ඊට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කළ යුතුමය.

ශිෂ්‍ය සංගම් හා පරිපාලනයත් රකින්නේ අපරාධකරුවන්වයි

මාලිංග ප‍්‍රසාද්- නවකවිරෝධියකු හැටියට කටයුතු කළ සරසවි උපාධිධාරියෙක්

‘‘මේ නවක වදය වගේ දේවල් පවත්වාගන යන්න විශ්වවිද්‍යාල පරිපාලනය රැකවරණය දෙනවා. විශේෂයෙන්ම පේරාදෙනිය සරසවියේ පසු ගිය කාලය පුරාම සිදුවීම් ගණනාවක් උනත් එහි උපකුළපතිවරයා එය සඟවා ඉන්න උත්සහ කරන්න්‍්‍ර. බොහෝ සරසවි වල පරිපාලනයට අවශ්‍ය වෙලා තියෙන්නෙ නවක වද සිඳුවීම් සඟවා ගනිමින් තමන්ගේ පරිපාලන කාලය තුළ හොඳින් පරිපාලන කටයුතු සිදු වුන බවට අඟවන්නයි.

මේ තත්වයන් පාලනය කරන්නට ශිෂ්‍ය  සංවිධාන වලට එතරම්  ඕනෑකමක් පේන්නෙ නැහැ. මොකද සිදුවීම් ගණනාවකදීම කොළඹ, පේරාදෙණිය, ජපුර, කැළණිය වගේ සරසවි වල.උනත් මහා ශිෂ්‍ය සංගම පෙනී සිටියෙ නවක වදයේ යෙදෙන්නන්ගෙ පාර්ශවයේ. නැතිව නවක වදයට ගොදුරු වූවන්ගෙ පැත්තෙ නොවෙයි. අන්තරය වුණත් පාරට බැහැලා අධ්‍යාපනයේ අයිතිය තහහුරු කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. අනෙක් පැත්තෙන් ඔවුන් සාමූහිකව සරසවි වල නවකයන් සරසවිය තුළ වද බන්දනයට ලක් කරනවා.

අනෙක් අතට ලොකුම ඛේදවාචකය නම් නවක වදයට ලක්වන ඇතැමුන් ඒක සුන්දර දෙයක් විදිහට බාර ගැණීමයි. මේ ලඟදි කොළඹ සරසවියේ ශිෂ්‍ය යෙකුගෙ උපන් දිනයක් වෙනුවෙන් ඔහුව නිරුවත් කරලා කණුවක බැඳලා මඩ වලින් නාවනවා. ඒක තමා ඔහු ජීවිතයේ වඩාත්ම සතුටින් උපන්දිනය සැමරුව දවස කියලා ඔහු සටහනක් දාලා තිබ්බා.’’

 

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ – ලංකාදීප 

(tharindudld@gmail.com / bingungamage88@gmail.com)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here