කුඩු නිසා මරණයට නියමවූ දෙදරු පියා….

0
11
views

හෙරොයින් ග්‍රෑම් 18.24 ක ප්‍රමාණයක්‌ සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ 53 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (03 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය.

පැමිණිල්ල විසින් මොහොමඩ් ෂිමාම් නිශාම් නමැති විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී අධිචෝදනා දෙකට වෙන් වෙන්ව එලෙස මරණීය දණ්‌ඩනය නියම කළේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‌ෂක රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් 2010 වසරේදී රාජගිරිය සර්පන්ටයින් පාරේ පිහිටි නිවසක්‌ වටලා හෙරොයින් ග්‍රෑම් 44 ක ප්‍රමාණයක්‌ සමඟ මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම විත්තිකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

විත්තිකරුට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යොහාන් අබේවික්‍රම මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකරු 2010 වසරේ සිට මේ දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර භාරයේ පසු වන බැවින් ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රාජගිරිය ප්‍රදේශය හෙරොයින් ජාවාරම තදබල ලෙස පැතිර ගිය ප්‍රදේශයක්‌ බවත් විත්තිකරු සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් ප්‍රමාණය අනුව සමාජයට පූර්වාදර්ශයක්‌ වන පරිදි උපරිම දඬුවම් ලබාදීම සිය අධිකරණයේ වගකීම බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම නියම කළේය.

ඒ. ඡේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here