පඹයෝ උන අපේ ක්‍රිකට් නායකයෝ ගැන මහේල කියූ කථාව….

0
26
views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බිහිකළ සුපිරි ක්‍රිකට් නායකයකු ලෙස මහේල ජයවර්දන හැඳින්විය හැක.මහේල තමා ක්‍රීඩා කරන කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පමණක් නොව ලෝක ක්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වයට සුදුසු බව බොහෝ අවස්ථාවල යෝජනා වන්නේ ඔහු සතු නායකත්වයේ හැකියාව නිසාමය.

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ පසුව තවමත් අපි හරි හමන් නායකයෙකු සොයමින් සිටී.අපිට හොඳ නායකයන් බිහි නොවන්නේ ඇයි,මේ තත්වයට වගකිවයුත්තේ කවුද මේ ප්‍රශ්න වලට පිළිතුරක් පසුගියදා මහේල පාසල් ක්‍රිකට් සැලැස්ම බාරදෙන අවස්ථාවේ පැවති උත්සවයේදී අදහස් දක්වමින් පවසා ඇත.

මහේල පවසන්නේ පුහුණුකරුවන් සහ දෙමව්පියන් පාසල් කාලයේ කරන අනවශ්‍ය බලපෑම් ජාතික කණ්ඩායමට හොඳ නායකයන් නොපැමිණීමට හේතුවක් බවය.

“දැන් පාසල් තරඟයක් තියෙද්දී මොකද්ද වෙන්නේ බලන්න,දෙමව්පියෝ එක පැත්තක ඉන්නව පුහුණුකරුවෝ තව පැත්තක ඉන්නවා.එයාල තමයි කියන්නේ කොහොමද පිටියේ පන්දු රකින්නෝ යොදවන්න ඕන,මොන විදියටද එක එක පිතිකරුවට පන්දු යවන්න ඕන කියල.එහෙම වුනාම නායකයට කරන්න දෙයක් නෑ ,නායකයට තියෙන්නේ කවුරුවත් කියන දෙයක් පිටිය මැද ඉඳන් කරන්න විතරයි.ඉතින් ඔය ක්‍රීඩකයොම තමයි කවද හරි ජාතික කණ්ඩායමට යන්නෙත් ,ජාතික කණ්ඩායමේ නායකයෝ වෙන්නෙත් එහෙම ගිහින් තනියම ක්‍රීඩා කරද්දී ඔවුන්ට පස්ස හැරිලා බලන්න බෑ.තනියම හිතල තීරණ ගන්න ඕන.එතැනදී තමයි අර පාසල් වලින් හදපු අවසතාවට ඕන විදියට තීරණ ගන්න බැරි ක්‍රීඩකයෝ නායකයෝ අසරණ වෙන්නේ.”

මහේල පවසන්නේ පාසලේදී ක්‍රීඩකයන්ට වැරදෙන්නට ඉඩ දීම කලයුතු බවත් එතනින් ක්‍රීඩකයන් ඉගනගැනීම සිදුවන බවත්ය.

“පාසල් කාලේ තීරණ අරගන්න දෙන්න,ඒ තීරණ වරදින්න දෙන්න,තීරණයක් අරගෙන වැරදුනාට පස්සේ තමයි ක්‍රීඩකය දැනගන්නේ තමන් ගත්ත තීරණය වැරදියි කියල.එතනින් තමයි ක්‍රීඩකය ඉගනගන්නේ.තරඟ දිනන එකම නෙවෙයි වැදගත් වෙන්නේ.හොඳ ක්‍රීඩකයෝ බිහි කරන එක තමයි වැදගත්ම දේ.”

නව ක්‍රීඩකයන් බිහි කිරීමේදී දෙමව්පියන් සහ ගුරුවරුන් අවරුදු 13-15 ක්‍රීඩකයන්ට අමතර පීඩනයක් ලබා දීම නොකළ යුතු බවද මහේල වැඩි දුරටත් පවසා ඇත.

“තවත් වැදගත් දෙයක් තමයි පාසල් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න දෙනඑක.ඔවුන් මත අමතර පීඩනයක් දාන්න එපා.අපි කවුරුත් දන්නවා ක්‍රිකට් කියන්නේ දැන් වෙළඳ භාණ්ඩයක් වෙලා ඉවරයි.හැබැයි ඒ විදියට ක්‍රීඩාවෙන් සල්ලි හොයන්න හිතාගෙන දරුවන්ව වැරදි පාරවල් වලින් තමන්ගේ අරමුණු වෙත ගෙනියන එක වරදක්.ඒ නිසා ක්‍රීඩකයන් ඉස්සරහට යන්නේ නිවැරදි පාරේද කියන එකත් අවධානය යොමු කරන්න කවුරුන් හෝ ඉන්න ඕනෑමයි.”

මහේල අවසාන වශයෙන් පවසා ඇත්තේ ක්‍රීඩකයන් ආත්මාර්ථකාමී ක්‍රීඩකයන් නොකිරීමේ වගකීමද පාසලට සහ දෙමව්පියන්ට පැවරෙන බවය,

“තව ගොඩක් වරදින තමයි අනිත් අයට මොනවා වුනත් කමක් නෑ ඔයා ලකුණු ගන්න ,ඔයා කඩුලු ගන්න කියල පාසලේදී දෙන ඉලක්ක.මේ විදියට හිතල ක්‍රීඩාවක ඉදිරියට යන්න බෑ.මොකද ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක් ,ඉතින් පාසලේදීම කුඩා ක්‍රීඩකයන්ට හිතන්න පුරුදු කරන්න ඕන,ඔයා කොච්චර හොඳට කලත් වැඩක් නෑ.කණ්ඩායම පරදිනවනම් කියන එක.මලල ක්‍රීඩකයෝ නම් තනියෙන් දිනන්න හිතුවට කමක් නෑ,හැබැයි ඒකෙදිත් සහය දිවීම් කරන්න සහයෝගය ඕන.ඒ වගේ තමයි ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක් තනියම තමන්ට ලකුණු දාගෙන වැඩක් නෑ හැම වෙලාවේම කණ්ඩායම ගැන හිතන්න ඕන,එහෙම ක්‍රීඩකයෝ තමයි පාසල් වලින් ජාතික කණ්ඩායමට හදල එවන්න ඕන.”

මහේලගේ මේ කථාව පාසල් ක්‍රීඩකයන්ට දෙමව්පියන්ට පමණක් නොව වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ද වැදගත් යයි සිතෙන්නේ පසුගිය කාලයේ අපේ නායකයන් හැසිරුණ අකාරය බලද්දී ඔවුන් පඹයන් මෙන් වෙනත් පිරිසකගේ සැලසුමක් පිටිය මැද කරන බවත් කලින් සකස් කරගෙන පැමිණි සැලසුම් පිටිය මැද වරදින විට විකල්ප සැලසුම් නැතිව පිටිය මැද අසරණ වන බවකද දැකිය හැකිවූ අතර මහේල පැවසු අකාරයේ තමා වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ද අපට ජාතික කණ්ඩායමේ දැකිය හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here