කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු හය දෙනාට ඇප

0
10
views

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන් හයදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (09 දා) නියෝග කළේය.

රුපියල් ලක්‍ෂය බැගින් මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනකු එක්‌ සැකකරුවකු වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බවට නියෝගයක්‌ කළ මනිලාල් වෛද්‍යතිලක මහතා එම ශරීර ඇපකරුවන් තිදෙනා අතරින් දෙදෙනකු සැකකරුවන්ගේ ළඟම ඥතීන් හා රජයේ සේවකයන් විය යුතු බවටද නියෝග කළේය.

ඇප ලබා ගැනීමෙන් පසුව සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9-12 අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය. විමර්ශන නිලධාරීන්ට හෝ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බාධාවක්‌ හෝ යම්කිසි බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප නියෝගය අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනා බවද විනිසුරුවරයා එහිදී සැකකරුවන්ට අවවාද කළේය.

2008 වසරේදී කොළඹදී සුදුවෑන් භාවිත කරමින් තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොමදොaරු ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් හයදෙනා අත්ඩංගුවට ගෙන කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥ මණ්‌ඩලය මේ වන විට මාස 10 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඇතුළු සැකකරුවන් හයදෙනා ඕනෑම ඇප කොන්දේසියක්‌ යටතේ මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

එම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනිමැරුම් අංශයේ ස්‌ථානාධිපතිවරයාට මරණනතර්ජන එල්ල වී ඇති බැවින් හා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ 09 වැනිදා ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වා දී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්‌ඩාර මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පස්‌වන හා හයවන සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්‌ නොදක්‌වන නමුත් ඩී. කේ. පී. දසනායක හා සුමිත් රණසිංහ ඇතුළු සෙසු සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ප්‍රධාන විමර්ශන නිලධාරියාට ජීවිත තර්ජන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළත් ඒ බව සනාථ කිරීම සඳහා එම නිලධාරියා අධිකරණයට නොපැමිණීම අනුව එම කරුණු සනාථ කිරීමට බලවත් උත්සාහයක්‌ දරා නැති බව කනගාටුවෙන් වුවද පෙන්වා දීමට සිදුවන්නේ යෑයිද විනිසුරුවරයා එම ඇප නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

එකම සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හයදෙනා අතරින් දෙදෙනකුට ඇප ලබාදීමට විරුද්ධත්වයක්‌ නොදැක්‌වීමත් සෙසු සැකකරුවන් හතර දෙනාට ඇපදීමට විරුද්ධත්වයක්‌ නොදැක්‌වීමත් අධිකරණයට උභතෝටික ප්‍රශ්නයක්‌ වන බවද ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එම ඇප නියෝගය නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්‌ඩාර මහතා පෙනී සිටි අතර නීතීඥ අසිත සිරිවර්ධන, අජිත් පතිරණ, රසික බාලසූරිය, නයනා සෙනවිරත්න, අජිත් ප්‍රසන්න ඇතුළු නීතීඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here