ජනතාවගෙන් සමුගත් සොඳුරු දේශපාලනඥයා රංජිත් අතපත්තු

0
9
views

(අභාවප්‍රාප්ත හිටපු ඇමැති රංජිත් අතපත්තු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11 දා) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

ඉතා වැදගත් සේවාවක්‌ බෙලිඅත්තට සහ තංගල්ල ප්‍රදේශවලට ඉටු කළ අවංක දේශපාලනඥයකු වූ හිටපු රාජ්‍ය උප ඇමැති ඩී. පී. අතපත්තු මහතාගේ එකම පුත් දිවංගත දොස්‌තර රංජිත් අතපත්තු මහතා ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේද පැසසුමට ලක්‌වූ එම ආයතනයේ අධ්‍යක්‌ෂවරයකු ලෙස කටයුතු කළ කෘතහස්‌ත දේශපාලනඥයෙකි.

මාගේ පියා වන තංගල්ල හිටපු නගරාධිපති සැමිපාල වෙදආරච්චි මහතාගේ මෙන්ම මාගේ දේශපාලන කටයුතුවලට ඔහු මහත් කැපවීමකින් කටයුතු කළ දේශපාලනඥයෙකි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම් වෙනුවෙන් පක්‌ෂ මාරු කර තමන්ගේ ආත්මය පාවා දෙන යුගයක තමන් දරන ලද කැබිනට්‌ අමාත්‍ය ධුරය පවා අතහැර දැමූ නායකයකු ලෙස දොස්‌තර අතපත්තු මහතා ඉතිහාස ගත විය. බෙලිඅත්ත ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස එවකට තංගල්ල ඇතුළුව ගුරුපොකුණ සිට හීන්දැලිය දක්‌වාද, කුඩාවැල්ල සිට මාලිගාතැන්න දක්‌වාද විශාල ප්‍රදේශයක සංවිධාන කටයුතු කළ අතපත්තු මහතාගේ මධ්‍ය සංවිධානය තුළ මාගේ පියාද උප සභාපතිවරයෙකු විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හැරි අබේදීර මහතා එම මධ්‍ය සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කළ අතර 1973 එක්‌සත් ජාතික පක්‌ෂය තුළ නව පිබිදීමක්‌ ඇති කර ඡේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වයට පත් කර ගැනීම වෙනුවෙන් විශාල කැපවීමක්‌ කළ අයෙක්‌ ලෙස ජනතා ආදරයට පාත්‍ර සොඳුරු මිනිසෙකු ලෙස එතුමා හැඳින් විය හැකිය.

එක්‌සත් ජාතික පක්‌ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළේදී ඉදිරියෙන්ම සිටි එතුමා දකුණු පළාතේ වැඩිම සාමාජිකයන් පිරිස බඳවා ගනිමින් පක්‌ෂයට දක්‌වන ලැදියාව මනාව පෙන්වා දුන්නේය. ඒ බෙලිඅත්ත ආසනය තුළය. ගමක්‌, ගමක්‌ ගානේ ගෙයක්‌, ගෙයක්‌ ගානේ සංවිධාන කටයුතුවල නියෑළුණු අතපත්තු මහතා ඉතා ජනප්‍රිය කථිකයෙකු විය. මේ නිසාම වෙනත් මැතිවරණ කොට්‌ඨාසවල රැස්‌වීම් ඇමතීමට එතුමාට ලැබුණු ආරාධනා බෙහෝ විය.

1975 වන විට රට තුළ විශාල ආර්ථික අර්බුදයක්‌ මතු වී පෝලිම් යුගයක්‌ ඇති වූ අතර ආහාර හිඟයක්‌ ද ඇති විය. සහල් ගෙන යැමට ද සීමා විය. රට පුරා විශාල උද්ඝෝෂණ මාලාවක්‌ මතු විය. සාගින්න රට වෙළා ගෙන තිබූ අවධියකි. දවස පුවත්පතට සීල් තබන ලද්දේද මෙකලය. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් රංජිත් අතපත්තු මහතා බෙලිඅත්තේදී දහස්‌ ගණන් ජනයාගේ සහභාගිත්වයක්‌ ඇතිව සත්‍යග්‍රහයක්‌ ආරම්භ කළේ එකල ආණ්‌ඩුවේ ජනතා මර්දනයට එරෙහිවය. එකල විශාල ජනරැලි, අවිහිංසාවාදී ව්‍යාපාර සංවිධානය කරමින් අතපත්තු මහතා මෙහෙය වූ ජනතා නැගිටවීමට මුහුණ දීමට රාජපක්‌ෂවරුන්ට නොහැකි විය.

1976 පැවති මුල්කිරිගල අතුරු මැතිවරණයේදී රංජිත් අතපත්තු මහතාට මැර ප්‍රහාරයක්‌ එල්ල වී තුවාල ලබා සිටියද මැතිවරණ ව්‍යාපාරය සාර්ථක ලෙස නිමා කිරීමට එතුමාට හැකියාව ලැබුණි.

සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ තිබූ වින්නඹු තනතුරු අහෝසි කර පවුල් සෞඛ්‍ය සේවා තනතුරු ඇති කළේද දිවංගත රංජිත් අතපත්තු මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදීය. එමගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ විශාල දියුණුවක්‌ ඇති විය. කරාපිටියේ ස්‌නායු ශල්‍ය වෛද්‍ය ඒකකයක්‌ පිහිටුවා ලමින් හා රට පුරා සියලුම ග්‍රාමීය රෝහල් දිසා රෝහල් බවට පත් කළේද රංජිත් අතපත්තු මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේය. වෛද්‍ය පර්යේෂණ ආයතනය නවීකරණය කිරීම ද එතුමා කරන ලද සේවාවන් අතරින් කිහිපයකි.

කිරම ඔය ව්‍යාපාරය ආරම්භ කිරීම, කෝන්ගල්ආර වාරිමාර්ග ක්‍රමය, බෙලිඅත්ත රෝහල සංවර්ධනය කිරීම, ලුණුගම්වෙහෙර ව්‍යාපාරය සාර්ථක කිරීමට පියවර ගැනීම, එහි ඉඩම් බෙලිඅත්ත ජනතාවට ලබාදීම, පළමු ශේ්‍රණියේ කාර්මික විදුහලක්‌ බෙලිඅත්තේ පිහිටු වීම, පොදු ක්‍රීඩාංගණ ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුව මගින් ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම ඇති කිරීම හා ආයුර්වේද රෝහල් වැඩි දියුණු කිරීම එතුමාගේ සේවාවන්වලින් සමහරකි.

එතුමාගේ නම මංමාවත්වල හෝ ගොඩනැඟිලිවල නැත. නාම පුවරු සිහිවටන නැත. සොඳුරු වූ මිනිසුන්ගේ සිත් තුළ මේ අපූරු මිනිසාගේ නාමය නොමැකෙන ලෙස සටහන්ව ඇත. දැත පිරිසිදු අවංක අව්‍යාජ නායකයාණනි ධනය බලයට ගිජු නොවූ ඒ උත්කෘෂ්ට නායකයා සිය අතපත්තු පරපුරේ අභිමානය රැක ගනිමින් ඉතා චාම් සරල දිවි පෙවතක්‌ ගත කළ කාටත් සියලු දේශපාලනඥයන්ටත් ආදර්ශයට ගත හැකි උත්කෘෂ්ට මානව හිතවාදියෙකු වූ එතුමාගේ නික්‌ම යැම ජනතා හදවත් තුළින් කිසිදා නොමැකෙනු ඇත.

එතුමාට අජරාමර නිවන්සුව ලැබේවා.

දිලිප් වෙදආරච්චි

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය,

එක්‌සත් ජාතික පක්‌ෂයේ තංගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here