මළසිරුර ගෙන ගිය බෝට්‌ටුව නැවක හැපී තවත් 2ක්‌ මරුට

0
17
views

දෙවුන්දර මුහුදු තීරයේ දී පෙරේදා (09 දා) රාත්‍රි 11.50 ට පමණ බහුදින ධීවර යාත්‍රාවක්‌ නෞකාවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රවේ සිටි ධීවර කාර්මිකයින් දෙදෙනකු මියගොස්‌ තවත් ධීවර කාර්මිකයින් දෙදෙනකු අතුරුදන්වී ඇත.

මාෂල් දූපතට අයත් MV GLOVIS CAPTAIN වාහන ප්‍රවාහන නෞකාවක බහුදින ධීවර යාත්‍රාව ගැටී ඇත්තේ දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක්‌ පමණ ගැඹුරු මුහුදු සීමාවේදී බව නාවික හමුදාව පවසයි.

‘නදීකා’ 11 නමැති බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 05 වැනි දින හික්‌කඩුව ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස්‌ ඇත. මෙකී බහුදින ධීවර යත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන්කොට ඇත. ඔවුහු හික්‌කඩුව සිරිකදුරවත්ත බද්දේගම බැප්ටිස්‌ ගම්මානවල පදිංචිකරුවෝ වෙති. මෙම ධීවර කාර්මිකයින් ගන්දර මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයකු වන කේ. ඊබට්‌ නමැත්තා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස්‌ ඇත. ඉන්පසු මොවුහු මසුන් ඇල්ලීම නතරකොට යළි ගොඩබිම බලා බහුදින ධීවර යාත්‍රාව යාත්‍රා කොට තිබේ. මේ බව දුරකථන මාර්ගයෙන් අදාළ අංශ වෙත දැන්වීමටද පියවරගෙන තිබේ.

මෙම ධීවර කාර්මිකයින් යළි ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටියදී දැඩි මීදුම් තත්ත්වයක්‌ තිබී ඇත. දෙවුන්දර මුහුදු තීරයේදී හම්බන්තොට බලා යාත්‍රා කරමින් තිබූ ගොල්ජින් කැප්ටන් නමැති නෞකාවේ ගැටීමෙන් මෙම අනතුර වී ඇත. මෙම අනතුරත් සමඟ හෘදයාබාධයෙන් මියගිය ධීවර කාර්මිකයාගේ මළ සිරුර අතුරුදන් වී ඇත. එමෙන්ම සාරක්‌ කිලිගේ අනුර නලින් (39) නමැති අයකු අතුරුදන්ව ඇත. මෙම අනතුරෙන් මියගොස්‌ ඇත්තේ අගම්පොඩිගේ රසික ගිතප්‍රිය (46) නමැති බද්දේගම බැප්ටිස්‌වත්ත ගම්මානයේ පදිංචිකරුවකු හා අමිත් විතාරණ (27)නමැති හික්‌කඩුව සිරිකදුරවත්තේ පදිංචිකරුවන්ය.

මෙම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්‌ථානය වෙත තොරතුරු ලද සැණින් දකුණු නාවික විධානයට අනුයුක්‌ත පී 492 සහ 480 යන වේග ප්‍රහාරක යාත්‍රා (ඩෝරා යාත්‍රා) පෙරේදා (09 දා) මධ්‍යම රාත්‍රියේදීම එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර යෑවීමට නාවික හමුදාව කටයුතු කළේය. එම අවස්‌ථාවේදී එම නෞකාවේ කාර්යය මණ්‌ඩලය විසින් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇත. එමෙන්ම, වේග ප්‍රහාරක යාත්‍රා විසින් දියත් කරන ලද සෝදිසි කිරීමේ මෙහෙයුම් මගින් තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇත. මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට ද ඔවුන් සමත් වී ඇත. බේරා ගනු ලැබූ ධීවරයින් තිදෙනා සහ මෘත දේහ දෙක මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කරාපිටිය ශික්‌ෂණ රෝහල වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ධීවර යාත්‍රාව තුළදී මියගිය පුද්ගලයාගේ මෘත දේහය තවමත් බහුදින ධීවර යාත්‍රාව තුළ පවතිනු ඇතැයි සැක කෙරේ. වාහන ප්‍රවාහන නෞකාව සහ ඩෝරා යාත්‍රා අනතුර සිදුවූ මුහුදු ප්‍රදේශයේ රැඳී සිටිමින් එම ධීවර යාත්‍රාව මුහුදුබත් වීම වැළැක්‌වීමට නාවික හමුදාව කටයුතු කොට ඇත. තවද, අතුරුදන්ව ඇති තවත් පුද්ගලයකු සොයා නාවික හමුදාව තව දුරටත් සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් මියගිය ධිවරයින්ගේ මරණ පරීක්‌ෂණ ඊයේ (10 දා) කරාපිටිය ශික්‌ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත තිබුණි.

ලසිත දුමින්ද, ගාල්ල – ලලිත් චාමින්ද, එස්‌. කේ. කළුආරච්චි සහ රත්ගම – සංඛ විෙ-සූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here