ළාත් පාලන ඡන්දයෙන් එන අය සියයට 55 ක්‌ ගන්න ඕනා. ඒක අසීරු වැඩක්‌.

0
26
views

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ 1978 න් පස්‌සේ මෙවර කොට්‌ඨාස ක්‍රමයටයි. මේ ක්‍රමය 2012 දී යෝජනා කළේ අපියි. ඒ නිසා මේ ක්‍රමය ගෙන ඒමේ ශුද්ධ වූ අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයටයි. මේ රජය මුලින්ම විරුද්ධ වුණත් පසුව ඒ ක්‍රමයට එකඟ වුණා. මේ ක්‍රමයට කොට්‌ඨාශයේ වැඩිම ඡන්ද ගන්න කෙනා මන්ත්‍රී වෙනවා. වැඩිම ඡන්ද ගන්නා පක්‌ෂයට ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරු ලැබෙනවා යෑයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත කටුනේරියේ පිහිටි හිටපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතාගේ නිවසේ ඉකුත් 07 දා පැවති නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනි පක්‌ෂ අපේක්‌ෂකයන්ගේ රැස්‌වීමක්‌ අමතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය රට පුරාම සුළු පක්‌ෂ එක්‌ක එකතුවෙලා හරි තනියම හරි තරග කරනවා. ඉතිහාසයේ පළමු වතාවට අපි යාපනයට තනිවම තරග කරනවා. සියලු ජන කොටස්‌ වලටත් අපිට ඡන්දය දෙන්න පුළුවන්.

අපි 1994 දී අමාරුවෙන් ඡන්දය දිනලා ආණ්‌ඩු පිහිටෙව්වා. ජී. එල්. පීරිස්‌ මහත්මයා මහන්සි වුණේ නැතුවාට ජාතික ලැයිස්‌තුවෙන් ඇවිත් ඇමැතිකමක්‌ ලබාගත්තා. 2000 දී අපේ කට්‌ටිය කඩාගෙන යූඑන්පී එකට ගිහින් රනිල්ට එකතු වුණා. 2001 දී ජාතික ලැයිස්‌තුවෙන් ඇමති වුණා. ඔස්‌ලෝ, ජිනීවා සාකච්ඡාවලට ගියා. රනිල් මහත්තයා ගිවිසුම් ගහනකොට පළාත් සභාවල එකතුවකටත් කෙටුම්පතක්‌ හැදුවා. අර පුච්චපු එක. අපි ආපසු අමාරුවෙන් 2005 දිනපු නිසා යුද්ධයත් ජය ගත්තා. මේ හැම එකකම තනතුරු ගත්ත ජී. එල්. පීරිස්‌ මහත්තයාගේ තමයි පොහොට්‌ටුව පක්‌ෂය. මේකේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති නෑ. 1956 බණ්‌ඩාරනායක මහත්තය ගෙනාපු පංච මහා බලවේග ප්‍රතිපත්ති සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය රැකගත් ප්‍රතිපත්ති මේකේ නැහැ.

2015 ජනවාරි 8 දා මැතිවරණයෙන් මෛත්‍රී මහත්තයා ජනාධිපති වුණා. අපි 10 දා මහින්ද මහත්තයා අපේ පක්‌ෂයේ නායකයා ලෙස පත්කළා. ඒත් 12 දා මහින්ද මහත්තයා ජනාධිපතිතුමා හමුවෙලා පක්‌ෂයේ සභාපතිකම භාරදුන්නා. අපි මහ මැතිවරණයකට තරඟ කළා. බුලත් කොළේ තිබුණ නිසා අපි ආසන 95ක්‌ එදා නොගත්තා නම් රනිල් අගමැතිතුමා මහ බැංකුවට විතරක්‌ නොවේ අනික්‌ බැංකුවලටත් මොනවා කරයිද දන්නේ නෑ. පළාත් පාලන ඡන්දයෙන් එන අය සියයට 55 ක්‌ ගන්න ඕනා. ඒක අසීරු වැඩක්‌. ප්‍රගතිශීලී පිළේ පක්‌ෂ දෙකක්‌ එකතු වෙන්න වෙනවා. බලය පිහිටුවන්න. කාත් එක්‌කද එකතු වෙන්නේ.

එදා හිටපු ඩී. එස්‌ලාගේ ඩඩ්ලිලාගේ යූඑන්පී එක අද නෑ. බැඳුම්කර සිද්ධිය වගේ ඒවයින් මේ තත්වය පේනවා. බැඳුම්කරයට නඩු දාන්න පොලිසියට පුළුවන්. ජනාධිපතිතුමාට මහබැංකු අධිපති පත්කිරීමට බලපෑම් ආවත් ආපසු පත්කළේ නෑ. ඒ නිසා නිලධාරීන් බය නැතිව සාක්‌ෂි දුන්නා. ඒවාගේ අපේ ජනතාවටත් බය නැතිව ඡන්දය දෙන්න පුළුවන්.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මම මන්ත්‍රීකම අරන් යූඑන්පී එකෙන් පිටවෙලා ගියේ නෑ. මන්ත්‍රීකම රනිල් මහත්තයාගේ දෙපා ළඟ තියලා මම වයඹ පළාත් සභාවට තරඟ කරන්න ගියේ. හිටපු ජනාධිපතිතුමා දිනවන්න මම පුදුම මහන්සියක්‌ ගත්තා මෛත්‍රිපාල ජනාධිපතිතුමාට මම තරම් බැන්න කෙනෙක්‌ තවත් නෑ.

පසුගිය මහමැතිවරණයේදී මගේ ගෙදරට දවස ගානේ 2000 විතර පිරිසක්‌ ගෙන්නලා මනස හැදුවා. ඒත් මහින්ද මහත්තයා පැරදුනා. පරාජයට හේතු හොයන්නේ නැතිව ආපසු ඡන්දයකට යනවා.රට එක්‌සේසත් කරපු යුද්ධයෙන් දිනපු මේ වීරයාගේ පින්තූරය දේශපාලන භේදයකින් තොරව හන්දියක්‌ ගානේ ගහන්න ඕනෑ.

ඒත් ජනතාව පිළිගන්න ක්‍රමය ගැන සොයා බලන්න ඕන. රොඩේසියාවේ, දැන් සිම්බාබ්වේ, රොබට්‌ මුගාබේ අවුරුදු 30 ක්‌ රට පාලනය කළා. 80% ක්‌ ඡන්දය දුන්නා. මේ ළඟදී බිරිඳව ජනාධිපතිකමට දාන්න ගිහින් ජනතාව පාරට බැස්‌සා. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 26ක හිරේ ඉඳලා ආවා. ජනතාව පිළිගත්තා. උතුරේ පාරවල්, පාලම්, ගෙවල් හදලා සංවර්ධනය කළාම මහින්ද මහත්තයා හිතුවා ඡන්දය දෙයි කියලා. ඒ අය ඡන්දය දුන්නේ නෑ. ඔවුන්ගේ හිත් හදන්න බැරි වුණා. මුස්‌ලිම් ජනතාව අපිත් එක්‌ක හිටියා. ඒත් පස්‌සේ අපිට ඒ අයගේ ඡන්දය ගන්න බැරිවුණා. අලුත්ගම වුණා වගේ සිද්ධි බලපෑවා.

මහින්ද මහත්තයා උපාධිධාරීන් 5800 කට රැකියා දුන්නා. එවකට හිටියේ 15000යි. ඒත් රජයේ සේවකයින්ගේ ඡන්දය ලැබුණේ නෑ. අපි රජයේ සේවකයින් 7000කට රුපියල් ලක්‌ෂ දෙකේ යතුරු පැදි 50000 ගානේ දුන්නා. මහින්ද මහත්තයා දුන්නා කියලා ගහපු ස්‌ටිකර් එක ඔවුන් එවෙලේම ගලවලා විසිකරලා තිබුණා.අපිට තැපැල් ඡන්ද ලැබුණේ නෑ. මර්වින් සිල්වා රජයේ සේවකයෙකු ගස්‌ බැන්දට පස්‌සෙ ගත්තු පියවර මොකක්‌ද?

මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් කීපදෙනෙකුට පහර දුන්නා. ලසන්ත වික්‍රමතුංග වගේ අයට මැරුවා, ව්‍යාපාරිකයෝ අමනාප වුණා. මේ වගේ ප්‍රශ්නවලට උත්තර හදාගත්තේ නැතුව ඡන්දවලට යන්න බෑ.

මෙම රැස්‌වීමේදී එජාපයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ වයඹ පළාත් සභා අපේක්‌ෂක සජීව ප්‍රනාන්දු මහතා ඇතුළු කටුනේරිය, කොට්‌ටරාමුල්ල, මහවැව ප්‍රදේශවල එජාප ක්‍රියාකාරීන් රැසක්‌ ශ්‍රීලනිපයට එක්‌වූහ. රැස්‌වීම අමතා වත්මන් වයඹ පළාත් සභා ඇමැති පියසිරි රාමනායක, හිටපු ඇමති දයාශ්‍රිත තිසේරා යන මහත්වරු ඇතුළු කීපදෙනෙකුම කතා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here